2015 වසරෙන් පසු කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එක්සත් ජාත්න්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 මාර්තු 17 වන දින රජය වෙත යෝජනා කළ අදහස් සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රතිචාරය දක්වමින් මේ බව කියා සිටි.
ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2019 මාර්තු 17 වන දින රජය වෙත යෝජනා කළ අදහස් සම්බන්ධ ප්‍රතිචාරය
- තාමත් තමා රටේ රජු යැයි සිතා සිටින මහින්ද රාජපක්ෂ මහතා ජනතාව නොමඟ යවමින් අන්තවාදී මතයක් පතුරුවා හරිමින් සිටී. ඔහු තවදුරටත් මේ රටේ ජනාධිපති හෝ අගමැති නොවන බව අමතක කර ව්‍යාජ තොරතුරු ජනතාව අතර ප්‍රචාරය කිරීමේ නිර්දය උත්සාහයක් දරමින් සිටී. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය උරුම කරගත් මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතා මාස කීපයකට කලින් මේ රටේ පාලන ක්‍රමය නීතිවිරෝධීව පැහැර ගැනීමට තැත් කළ බව අමතක නොකළ යුතුය. ඔහුට පැහැරගත් බලය අතහැර යාමට සිදු වූයේ මේ රටේ ජනතාවගේ සුවිශේෂී ශක්තිමත් විරෝධතා සහ ගරු අධිකරණය ද ඇතුළත් ස්වාධීන ආයතන පද්ධතිය නිසා බව අමතක නොකළ යුතුය. පැරණි මිතුරෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත මට කිවහැකි වන්නේ පලක් නැති අවිචාර කථා පසෙකලා සත්‍ය තත්ත්වය වටහා ගන්නා ලෙසය. ඔබ විසින් සහ ඔබගේ කේවට්ට උපදේශකයන් විසින් රට තුළ ඇති කළ සුවිශාල ගැටළු කන්දරාව ක්‍රමයෙන් ලිහා දමමින් රට ඉදිරියට ගෙන යාමේ විශාල අරගලයක යෙදී සිටින රජයකට ඔබගේ අවවාද අනුශාසනා පිළිගන්නට බලකිරීම තුළින් අපට කිසිදු සංවාදයක් සඳහා ඉඩ නැති බව පෙනී යයි. ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම උපදේශයක් ලබාදිය යුතු වන්නේ සත්‍ය කරුණු මත පිහිටායි. සාවද්‍ය සහ අතිශයෝක්තියට නඟන ලද කරුණු මත පදනම්ව නොවේ. රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයේ එවැනි කරුණු කීපයක් විමසා බැලීම වටී.
“ලංකාවට විරුද්ධව තවත් ජිනීවා යෝජනාවක් සම්මත කිරීමට ආණ්ඩුව සහයෝගය ලබා දෙන බව රාජපක්ෂ මහතා කියා සිටී.”
- මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ කිසිසේත් සත්‍ය නොවන සාවද්‍ය කාරණාවකි. ඒ මක්නිසාද යත් ජිනීවා යෝජනා ලංකාවට එරෙහි ඒවා නොවන අතර 2015 වසරේ සිට කිසිදු ජිනීවා යෝජනාවක් ලංකාවට එරෙහිව ඉදිරිපත් වී නොමැත. 2009 වසරේ දී රාජපක්ෂ ආණ්ඩුව මැදිහත්වීමෙන් යුද්ධයෙන් පසුව මානව හිමිකම් කොමිසමට යුද ජයග්‍රහණ යෝජනාව නම් කෙටුම්පතක් ඉදිරිපත් විය. එය සම්මත වූයේ මානව හිමිකම් කවුන්සිලය දෙපිළකට බෙදී ලංකාවට පක්ෂ හා විපක්ෂ වශයෙනි. එම යෝජනාවට හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතාගේ සංචාරක කාලයේ දී ජනාධිපති රාජපක්ෂ සමග ඔහු විසින් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ කරුණු ද ඇතුළත් විය. රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට දුන් පොරොන්දුව මෙහි ඇතුළත්ය. එවැනි පසුබිමක තමන්ගේ සම්පූර්ණ කැපවීම මානව හිමිකම් කොමිසම බෙදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක නොකිරීම නිසා පසුව ලංකාවට විරුද්ධව දිගින් දිගටම ජිනීවා යෝජනා ක්‍රියාත්මක විය. ඔහු තමන් මානව හිමිකම් කොමිසම වර්ජනය කරන බව පාරම්බෑව ද ජිනීවාහි ලංකාවට එරෙහි යෝජනා කීපයක්ම සම්මත විය. අවසානයේ දී 2014 මාර්තු මාසයේ දී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත කරමින් ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමිසමේ විමර්ශන ආරම්භ විය. ඒ වන විට ලංකාව මුළුමහත් ජාත්‍යන්තරයේම කොන්වී තිබුණු අතර, ලෝකයේ මේ රට අසරණ තත්ත්වයට වැටී තිබුණි.
- රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික වශයෙන් රට ණය කන්දකට යට කොට තිබූ අතර නැවත ගෙවාගත නොහැකි තරමට වෙළඳපොළ පොළියටත් වඩා වැඩි පොළියට ණය ගැනීමෙන් ඒවා ගෙවාගත නොහැකි තත්ත්වයට පත්කොට තිබිණි. ශ්‍රී ලංකාවේ හමුදාවන්හි මහා ආරක්ෂකයා ලෙස පෙනී සිටින රාජපක්ෂ මහතා හමුදාවට ලෝකයේ බලවත් යුද ශක්තිය ඇති රටවල්වල සහයෝගය ලබාගත නොහැකි අබල දුබල තත්ත්වයකට පත්කර තිබුණි. හමුදා නිලධාරීන්ට විදේශ රටවල පුහුණු අවස්ථා නොලැබුණු අතර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවලට හෝ ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා ළං කොට නොගැනුණි.
- එහෙත් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහතා බලයෙන් විසිවී ගිය පසු පත්වූ රජය රටේ ස්වාධිපත්‍යය තහවුරු කොට මුළු රටේම පුරවැසියන් වෙත ඇති රජයේ වගකීම ඉටු කිරීමට පටන් ගති. ඒ සමගම 2014 මාර්තු මාසයේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මානව හිමිකම් කොමිසම විසින් දියත් කළ ජාත්‍යන්තර විමර්ශන ද ක්‍රමයෙන් තුරන් වී ගියේ නව රජයට තම පුරවැසියන් සමග එකතු වී රට තුළ ඇති ප්‍රශ්න තමන්ට විසඳා ගැනීමට අවස්ථාව සලසා දෙමිනි.
- 2015 සිට ජිනීවාහි සම්මත වූයේ ලංකාවට එරෙහි යෝජනා නොව අපගේ මිතුරු රටවල්වල සම්පූර්ණ සහයෝගය ඇතුව රටේ ජනතාවට වාසි සහගත වන තත්ත්වයකි. ඒ තුළින් ලෝකයේ සිටින හොඳම විශේෂඥවරුන්ගේ සහය ලංකාවට එතැන් සිට ලැබෙමින් පවතී. එතුළින් දශක ගණනාවක් තුළ රට තුළ ඔඩු දුවා තිබූ ජනවර්ග අතර සැකය, ප්‍රජාතන්ත්‍රවාදය සහ අපරාධකරුවන් නීතියේ රැහැනින් පළා යාමේ අශෝභන තත්ත්වය වෙනස් වී සියලු පුරවැසියන්ට එක සමානව මානව හිමිකම් භුක්ති විඳීමේ අවස්ථාවක් උදාවීමය. ඒ ගැන මොහොතක් සිතා බැලිය යුතුය. රාජපක්ෂ මහතා අවලාද නගන යෝජනාව ලංකාවට එරෙහිව නම් ඔහු බලයේ යෙදී සිටිය දී ජිනීවාහි සම්මත වූයේ මොන වර්ගයේ යෝජනා දැයි අසනු වටී. 2014 මාර්තු මාසයේ දී රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී සම්මත වූයේ ලංකාවට එරෙහි විමර්ශන කිරීමේ යෝජනා නොවේද? එවැනි යෝජනා දිගටම සම්මත වූයේ නම් ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම නොඅනුමානව සිදුවන තත්ත්වයකි. 2015 න් පසුව එවැනි යෝජනා කිසිවක් සම්මත වී නොමැත. එම යෝජනාවල පදනම වී ඇත්තේ මෙරට සියලු පුරවැසියන්ට කෙටිකාලීන සහ දිගුකාලීන ආර්ථික වාසි සැලසීමයි. එතුළින් රටේ ජනතාව අතර දිගු කාලයක් මුල් බැසගත් අවිශ්වාසය හා සැකය ඉවත් වී ගොස් සාමකාමී සමාජයකට අඩිතාලම් දැමුණි. එසේම 2015 පශ්චාත් ජිනීවා යෝජනා තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීප සබඳතාවක් ගොඩනැගීමට මඟ පෑදුණු අතර එතුළින් මෙරට පුරවැසියන්ට, නිලධාරීන්ට, අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට සහ හමුදාවලට සමස්තයක් ලෙස අතිවිශාල වාසිදායක පරිසරයක් නිර්මානය විය. මේ සමස්ත ක්‍රියාදාමය තුළ ලංකාව ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරමින් සියලු දෙනා වෙත සශ්‍රීක අනාගතයක් උදාකර දීමේ නව අවස්ථා උදාවිය.
- අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා නැවත නැවතත් කල් ඉකුත්වූ යෝජනා සහ තර්කවලින් දමා ගසමින් සිටී. 90 දශකයේ අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන් සමග එක්වී නීතිවිරෝධී අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ප්‍රබල හඩක් නැඟුවේ රාජපක්ෂ මහතාය. මේ වන විට ඔහුම තම ප්‍රකාශයෙන් කියන්නේ නිල රහස් පනත ඉක්මවා යමින් අතුරුදහන් වූ කාර්යාලය වෙත සිය පූර්ණ සහයෝගය ලබාදීමට හමුදා අංශ සහ ඔත්තු සේවාවන් වැනි රජයේ නිල ආයතන බැඳී සිටින බවයි.
- මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ තම නිල තත්ත්වය ප්‍රයෝජනයට ගෙන නීතිවිරෝධී අපරාධ සිදු කරන පුද්ගලයන් ඇත්නම් ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවයි. රාජ්‍ය රහස් රැකීමත්, බලය අයුතු ලෙස යොදා ගනිමින් අපරාධ කිරීමත් එක ලෙස හුවා දැක්වීමට එතුමා උත්සාහ ගැනීම හාස්‍යජනකයි. ඒ තුළින් රටේ නීතියේ ආධිපත්‍යයට ඇති වන ඉරණම කෙසේ වේදැයි සිතාගත නොහැකියි. රාජ්‍ය රහස් යන්න අදාළ වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ නීත්‍යානුකූල තත්ත්වයකදී පමණි. අතුරුදහන් වූ සොල්දාදුවන් ඇතුළු අනෙකුත් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට තමන්ගේ ඥාතීන් මියගිය විස්තර සෙවීමට ඇති අයිතිය සහ එවැනි අය පිළිබඳ අවමංගල්‍ය චාරිත්‍ර ඉටුකිරීමේ මානුෂික උවමනාව ජාතික ආරක්ෂාවට සම්බන්ධ වන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැක.
“මහින්ද රාජපක්ෂ මහතා උපුටා දක්වන්නේ බලෙන් සිදු කරන අතුරුදහන් කිරීම් වැළැක්වීමේ පනත තුළින් ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රටවල නඩු දමා ඒ රටවල නීති මගින් දඩුවම් කළ හැකි බවයි.”
- මහින්ද රාජපක්ෂගේ නීති පිළිබඳ දැනුමේ තරම ඔහුගේ කථාවෙන් පෙනී යයි. මේ වන විටත් ලෝකයේ ඕනෑම රටකදී තවත් රටක සිදු කරන අතුරුදහන් කිරීම් හෝ අනෙක් ඕනෑම යුද අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් දඩුවම් කිරීමටත් හැකි බව ඔහු නොදන්නා බව පෙනේ. මක්නිසාද යත් අද වන විට ලෝකයේ අතිබහුතර රටවල් ප්‍රමාණයක් යුද අපරාදකරුවන් රැකීමට ඉදිරිපත් නොවී ඒ පිළිබඳව ඇති ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාවට නංවා ඇති බැවිනි.
- ලංකාව එවැනි ජාත්‍යන්තර ගිවිසුම් පිළිගත්ත ද නොගත්ත ද එම රටවල්වලට අදාළ නොවේ. එබැවින් ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර ගිවිසුම අත්සන් කළ ද, නොකළ ද එම රටවලට අදාළ නොවන්නේ එම රටවල් තුළ අවශ්‍ය නීතිරීති සම්පාදනය වී ඇති බැවිනි. 2018 සැප්තැම්බර් මාසයේ දී ජර්මනිය තම රට තුළ සිටි එල්.ටී.ටී.ඊ යුද අපරාධකරුවෙකුට විරුද්ධව ශ්‍රී ලාංකික සොල්දාදුවන් 16 ක් මරාදැමීමේ චෝදනාවට නඩු පැවරුවේ එලෙසිනි. මහින්ද රාජපක්ෂ මහතා එය නොදන්නවා නොවේ. එහෙත් නොදන්නා බව පෙන්වමින් සිටින්නේ ත්‍රස්තවාදයට විරුද්ධ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ඔහුගේ බොරු ප්‍රබන්ධවලට බාධාවක් බැවිනි.
- රටක ජාතික අධිකරණ පද්ධතිය අසමත් වන විට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ස්වභාවිකය. 1998 දී එක්සත් රාජධානියේ දී චිලියේ හිටපු පාලක ජනරාල් ඔගස්ටෝ පිනෝචේ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුණි. ඔහු එම තත්ත්වයට මුහුණ දුන්නේ චිලී රට තුළ නීතිය ක්‍රියාත්මකවීම නොවුණු බැවිනි. මෙසේ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මකවීම නොකඩවා සිදු වන අතර, එවැනි නඩු විභාගයන් අද වන විටත් විභාග වෙමින් පවතී. නීතියේ හස්තයෙන් බේරී විවිධ ආවරණ ලබමින් තමන්ගේ බලපරාක්‍රමය ඇති ප්‍රදේශවල වැජඹෙමින් සිටින අපරාධ චෝදනා ඇති පුද්ගලයින්ට තම පාපකර්මවලින් උපයාගත් ධනස්කන්ධය වියදම් කිරීමට වෙනත් රටකට යාමේ දී මෙම ජාත්‍යන්තර නීතියේ රැහැන ඕනෑම මොහොතක සිදු විය හැක.
- නැවත කිසිදා මෙරට පුරවැසියන් අතුරුදහන් කිරීමට නොහැකි වන ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමේ පනත තුළින් එවැනි ක්‍රියාවන් අපරාධ බවට පත්කොට තිබේ. අපේ රට දශක ගණනාවක් ගිලගෙන තිබූ අතුරුදහන් කිරීමේ සංස්කෘතිය මේ නව පනත තුළින් අපරාධමය වරදක් බවට පත්කොට අපේ භූමියේ නීතිමය ආධිපත්‍යය ඔසොවා තබා තිබේ. එසේම මේ පනත තුළින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ද ලෝකයේ අනෙක් ඕනෑම රටක අතුරුදහන්වීම් සිදු කළ පුද්ගලයින්ට විරුද්ධව අපරාධ නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර, අනාගතයේ දී පිනෝචිගේ වැනි චෝදනා ලද්දවුන් මේ භූමියට පය නොතබනු ඇත.
“මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාව පිළිබඳ ඇගේ වර්තමාන වාර්තාව අනුව ලංකාවේ යුද අපරාධ පිළිබඳ සැකකරුවන්ට විරුද්ධව පරීක්ෂණ සිදු කර නීතිය ක්‍රියාත්මක කරන මෙන් සාමාජික රටවලින් ඉල්ලා සිටින බව රාජපක්ෂ මහතා සිය ප්‍රකාශයෙන් දන්වා සිටී.”
- මහින්ද මහතා කරුණු හරිහැටි තේරුම් ගෙන නොමැතිව තම ප්‍රකාශය ඉදිරිපත් කරන බව පෙනේ. මානව හිමිකම් කොමසාරිස්වරිය තම වාර්ෂික වාර්තාවෙන් කියන්නේ ලංකාවේ අපරාධ සිදු කරවුන් පූර්ණ නිදහසක් භුක්ති විඳිමින් සිටීමෙන් පෙනී යන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රගතියක් නොපෙන්වන බවයි. එබැවින් ඕනෑම රාජ්‍යයකට ලංකාවේ සිදු වූ යුද අපරාධ ඇත්නම් ඒවා විමර්ශනය කළ හැකි බවයි. එහෙත් එය සිදු වන්නේ ලංකාව තුළ සිදු වූ අපරාධ ඇත්නම් ඒවා ලක් රජය විසින් විභාග කර වරදකරුවන්ට දඩුවම් නොදුනහොත් පමණි. තමන්ට බලය ඇති විට නීතිය ක්‍රියාත්මක නොකළ රාජපක්ෂ මහතා සිහිනෙන් අවදිවීමෙන් අදාළ නොවන තර්ක ඉදිරිපත් කරයි.
- වගකිව යුතු නිදහස් ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් ලෙස අපේ රට තුළ සිදුවන මානව හිමිකම් උල්ලංගණය කිරීම් විමර්ශනය කිරීම් ක්‍රියාත්මක වීම රටේ පුරවැසියන් වෙත ඉටු කළ යුතු යුතුකමකි. එබැවින් මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබඳ චෝදනා ඇත්නම් ඒවා විමර්ශනය කොට ක්‍රියා කිරීමට අපට ක්‍රමවේදයක් තිබිය යුතුයි. එසේ නොකරන්නේ නම් අප පුරවැසියන්ගේ ජීවිත අසාමාන්‍ය අනතුරක හෙළන අතර, එතුළින් පිටස්තර ලෝකයට කියාපාන්නේ රජයක් ලෙස අපට ජනතාවට ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට උවමනා නැති බව හෝ එසේ කළ නොහැකි බවය.
- මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තරව පිළිගත් විශාරදයන්ගේ වාර්තාවක් නේස්බි සාමිවරයා සතුව ඇති බවත්, එම වාර්තාවට අනුව ලංකාවේ දී අදාළ නීති උල්ලංගණය වී නැති බවත් මත පළවී ඇතැයි ඔහු කියා සිටී. මහින්ද රාජපක්ෂ මහතා හැමවිටම මොරදෙන්නේ ජාත්‍යන්තර විශාරදයින් අනවශ්‍ය බවයි. ඔහු රටේ ස්වෛරීයත්වය ආරක්ෂා කිරීමේ මුරදේවතාවා බව නිතර කෑමොර දෙයි. එහෙත් අවාසනාව නම් බ්‍රිතාන්‍ය සාමිවරයෙකුගේ සහ හමුදා නිලධාරීන්ට මුවාවී තමන්ගේ මතය සාධාරණ බව කියා සිටීමයි. නමුත් අපට තවදුරටත් අනුන්ට මුවාවී රැවටීමක් සිදු කළ යුතු නැත. ජාත්‍යන්තර විශාරදයින්ගේ සහයෝගය අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. එසේ විය යුත්තේ අපේ රටේ නැති පහසුකම් සහ හැකියාව ඔවුන් සතුව ඇති නිසාය. නේපාලයේ උපත ලද ගෞතම බුදුන්ගේ මහා දර්ශනය ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුතු සහ දියණියන් විසින් අපේ මේ දූපතට ගෙන ආවද අද එය අපි ගෞරවයෙන් වැළඳගත් වටිනා ධර්මයක් වී ඇත. නේස්බි සාමිවරයා උපුටා දක්වන ලද වාර්තා හැදුවේ ඔහු විසින් ආරාධනා කොට ලංකාවට ගෙන්වා ගත් ජාත්‍යන්තර විශාරදයන් විසිනි. එබැවින් අපි අනෙකුත් සහෝදර රටවලින් ඉගෙන ගැනීමත් ඔවුන්ගේ ගැටුම්කාරී තත්ත්වයන් තුළින් ඉගෙන ගැනීමත් වරදක් නොවේ. ලතින් ඇමෙරිකානු වෝහාරික විශේෂඥයන් හෝ දකුණු අප්‍රිකානු සංහිඳියා විද්වතුන් හෝ ටියුනීසියන් දූෂණ විරෝධී විශේෂඥයන් හට මේ රටේ දොරවල් වහන්නට අවශ්‍ය වෙනවාද? අපි එවැනි ජාත්‍යන්තර සහයෝගීතාවය ලබාගත යුතු අතර අපගේ අවශ්‍යතාවය අනුව අපි විසින් ලබාදෙන නිර්ණායක තුළ ඔවුන් ක්‍රියා කිරීම පමණක් සෑහේ.
- අනීතිකව බලය පැහැර ගැනීමට අසාර්තක උත්සාහයක් ගත් මහින්ද රාජපක්ෂ ජිනීවා යන රජයේ නියෝජිත පිරිසට අනතුරු අඟවන්නේ ඔවුන්ගේ වැඩ කටයුතු ඔහු දක්වන සීමාවලින් පිටතට ගියහොත් ඔවුන් ද්‍රෝහීන් ලෙස සලකන බවයි.
- මෙසේ තමන්ගේ මතවාදය බලෙන් නියෝජිත පිරිසට පටවන්නට හදන රාජපක්ෂ බලාපොරොත්තු වන්නේ ඔවුන් ශ්‍රී ලංකා රජය නියෝජනය කරන්නේ ද නැතහොත් තමන්ගේ රූකඩ ලෙස නටවන්න ද යන්න පැහැදිලි නැත. එසේම ඔවුන් අනුගමනය කළ යුත්තේ රජයෙන් ලබාදෙන උපදෙස් පිළිගැනීම ද නැතහොත් රටේ බලය අනීතිකව අල්ලා ගැනීමට වෙර දැරූ පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුගේ මතය ද යන්න විමසා බැලිම වටී.
- අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට නොනවත්වා කටයුතු කරන අතර එසේම කල් පවත්නා සංහිඳියාව මෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට සමගාමී වටිනාකම් ලෙස සුරකින්නට කටයුතු කරනු ලැබේ. ජිනීවා යෝජනාවලින් පැහැදිලිව දැක්වෙන පරිදි පහත සඳහන් කරුණු කැපවීමෙන් ඉටු කිරීමට අප කැපවී සිටිමු.
- ජාතික ක්‍රමවේදයක් තුළින් යුක්තිය ඉටුකිරීම සඳහා අපිට සමාන අත්දැකීම් ඇති රටවල සිටින විශේෂඥ සහාය ලබාගනිමින් අපට අවශ්‍ය පරිදි කටයුතු කිරීම
- ත්‍රිවිධ හමුදාවල ගෞරවය ආරක්ෂා කරමින් ඔවුන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල ඉහළ සේවය තත්ත්වයෙන් සේවය කිරීමට යොදවන අතර, රටේ නීතිය අනුව යම් කෙනෙකු අපරාධ කර ඇත්නම් ඔවුනට විරුද්ධව රටේ නීතිය අනුව ක්‍රියා කිරීම
- සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ජනවාර්ගික හෝ ආගමික වෙනස්කම් නොසලකා කල් පවත්නා සාමය, සංහිඳියාව, සමෘද්ධිය අත්කර දීමට ක්‍රියා කිරීම
- සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ආරක්ෂක හමුදාවල සාමාජිකයන් ද ඇතුළුව සියලුම අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමට කටයුතු කිරීම
- සියලුම අවශ්‍යතා ඇති පුරවැසියන් මෙන්ම යුද්ධයේ බලපෑමට ලක්වූවන්ට තම සුපුරුදු ජීවන මාර්ග ගොඩනඟා ගනිමින් ජාතික සංවර්ධනයට උරදීමට ආධාර උපකාර කෙරේ.
- අතීතයේ සිදු වූ භයානක වධදීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය, යුද්ධය සහ සුදු වෑන් අපරාධ වැනි දේ නැවත කිසි දිනක සිදු නොවීමට ක්‍රියා කිරීම
- අප රජය ලංකාවේ සියලු පුරවැසියන් වෙත ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පසුබට විය යුතු නොමැත. එසේ කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග අත්වැල් බැඳ ගැනීමට අප පසුබට නොවෙමු. ඔවුන් අතීතයේ මෙන්ම අනාගතයේ දීත් සැමවිටම අපගේ සුහද පාර්ශවකරුවන් වනු ඇත. ඔවුන් අපගේ නොසැලෙන අදිටනින් සාක්ෂිකරුවන් මෙන්ම උදව්කරුවන් වනු ඇති අතර, ලංකාවේ සංහිඳියාව සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ලෝකයේ අන් අය වෙත ද සන්නිවේදනය කරනු ඇත.
- අපේ අටේ ඉදිරි ගමන විවිධ බාධක කම්කටොළු මෙන්ම ජයග්‍රහණ ද කැටි කරගත් දුෂ්කර ගමනක් වනු ඇත. එහෙත් රට දුෂ්කර මගකට ඇද දැමූ පුද්ගලයන්ට අපගේ කටයුතු විවේචනය කිරීමට කොපමණ සදාචාරාත්මක අයිතියක් ඇද්දැයි සිතා බැලිය යුතුයි. ළමා සොල්දාදුවන් බඳවාගත් මෙන්ම යුද අපරාධ සිදු කළ කරුණා අම්මාන් වැන්නවුන්ට එරෙහිව කිසිදු විභාගයක් සිදු නොකළ, ඔවුන් බදා වැළඳගත් සමහර නායකයන්ට යුද විරුවන් වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් නැත. 2018 ඔක්තෝබර් 26 දින රට අරාජික තත්ත්වයට පත් කොට ආර්ථිකය පතුලක් නොපෙනෙන අගාධයකට තල්ලු කළ පුද්ගලයන්ට මේ රටේ සංවර්ධනය සහ ප්‍රගතිය තවදුරටත් විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත. කිසිදු බලයක් නැති ජනතාව පරාජය කළ දේශපාලන නායකයෙකුට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් නියෝජනය කරන නියෝජිත පිරිසකට උපදෙස් දීමට බලයක් නැත. ඔබ විසින් බලෙන් අත්කරගත් අගමැති තනතුර මාස තුනකට පෙර ගිලිහී ගිය බව අමතක කළ යුතු නැත. නීත්‍යානුකූලව පිහිට වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම ඔබ නවතා දැමිය යුතුයි. සංහිඳියාවේ ගමන රට තුළ නොකඩවා සිදු වන අතර, මේ රටේ ජනතාවට බොරුකාරයන්, භීතිය පතුරන්නන් සහ අශුභවාදීන් එපා වී තිබේ. භීතිය මත නොව සත්‍ය සහ ආර්ථික සමෘදිය මත සිය අනාගතය රැඳී ඇති බව මෙරට ජනතාව හොඳින් දනී. දිගුකාලීන සාමය, නැවත ගැටුම් ඇති නොවීම, නීතියේ ආධිපත්‍ය ඔසොවා තැබීම, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සියලුදෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පමණක් නොව තම අනාගතය ද සුරක්ෂිත බව මෙරට ජනතාව හොඳින් දනී. ඒ සඳහා ලෝකයේ අනෙක් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සමීපව ක්‍රියා කළ යුතු බව අතිමහත් ජනතාවගේ බලාපොරොත්තුවයි.
මංගල සමරවීර
මුදල් අමාත්‍ය
20. 03. 2019