ආනයන සීමාවෙන් මිදෙන තවත් ලැයිස්තුවක්

අප්‍රේ 19, 2023

    තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට එය පිටිවහලක් වනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    පළමු මාස 3 තුළ ‍රේගුවට ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් මිලියන 270 ක්.

    එහෙත්, එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා සියයට 12 ක අඩුවීමක් දක්නට ලැබෙනවා.

    ඊට ප්‍රධාන හේතුව වශයෙන් සොයාගෙන ඇත්තේ, භාණ්ඩ ආනයන සීමා පනවා තිබීමයි. 2021 වසරේදී භාණ්ඩ 485 ක් සඳහාත්, 2022 වසරේදී භාණ්ඩ 750 ක් සඳහාත් ආනයන සීමා පනවා තිබුණා.

    එසේම, මාර්තු මාසයේ ඩොලරයේ අගය පහළ යාමද ආදායම් ඉලක්ක කරා ලඟාවීමට බාධා ඇති කළ බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

    එබැවින්, නුදුරේදී දැඩි විමසිලිමත්ව අදාළ සීමා ලිහිල් කිරිමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ සඳහා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ සලකා බලන බවද ඔහු පවසනවා.

    Latest News