ගාසා තීරයේ ගැටුම් තවත් උත්සන්න වෙයි

මැයි 12, 2021

    ගාසා තීරයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. ඊශ්‍රායලය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය පිරිස තිස් දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, පලස්තීනය පවසන්නේ.

    මේ වන විට රොකට් ප්‍රහාර 130ක් පමණ එල්ල කර තිබේ. 2014 වසරේ ගාසා තීරයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු වාර්තා වූ දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි. ඉන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    මිය ගිය පිරිස අතර ළමයින් දස දෙනෙකු හා ගර්භනී කාන්තාවක ද වෙයි. මිය ගිය පිරිස අතර ළමයින් දස දෙනෙකු හා ගර්භනී කාන්තාවක ද වෙයි. රොකට් ප්‍රහාරවලින් ගාසා තීරයේ මහල් 13කින් යුත් ගොඩනැගිල්ලක් මුළුමනින්ම කඩා වැටුණේ, එහි පදිංචිකරුවන් හා ඒ අවට ජනතාව ඉවත් කිරීමෙන් පැය එක හමාරකට පමණ පසුවයි. කෙසේ වුවද, ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ද තිදෙනෙක් මිය ගියේය.

    ගැටුම්කාරි වතාවරණයක් පවතින කලාපයේ දැවැන්ත මානව ඛේදවාචකයක් උද්ගත වෙමින් පවතින බැවින් එය වහා නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි. ජෙරුසෙලමේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් අල් අක්සා මුස්ලිම් දේවස්ථානය අවට ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදා ඉවත් කළ යුතු බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වුවද ඊශ්‍රායලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයන්ට අනතුරු අගවා ඇත්තේ, ජෙරුසෙලමේ රතු තීරය හරහා ඉදිරියට පැමිණීමට උත්සාහ කළහොත් උපරිම බලය යොදවන බවටයි. මෙය ගැටුම්වල ආරම්භය පමණක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Last modified on බදාදා, 12 මැයි 2021 11:02

    Latest News