“නෝඩ් ස්‍ට්‍රීම් ටූ” ගෑස් නල මාර්ගයේ කාන්දුවක්

සැප් 30, 2022

    රුසියාවේ “නෝඩ් ස්‍ට්‍රීම් ටූ” ගෑස් නල මාර්ගයේ ද මේ වන විට කාන්දුවක් හඳුනාගෙන තිබෙනවා.

    එම නල මාර්ගය පිහිටා ඇත්තේ, ගෑස් කාන්දුවක් හේතුවෙන් මීට පෙර වසා තබන ලද රුසියාවේ “නෝඩ් ස්‍ට්‍රීම් වන්” විශාලතම ගෑස් නල මාර්ගයට සමාන්තරවයි.

    “නෝඩ් ස්‍ට්‍රීම් වන්” නල මාර්ගය, රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් නුවර සිට බෝල්ටික් මුහුද යටින් ඊසානදිග ජර්මනිය දක්වා කිලෝමීටර 1,200 ක් දුරට විහිදෙනවා. මෙම නල මාර්ගය මගින් යුරෝපානු සංගමයේ රටවල් සඳහා සියයට 35 ක ගෑස් සපයනු ලබනවා. මෙම නල මාර්ග දෙකෙහි හිමිකාරිත්වය දරන්නේ, රුසියාවේ රාජ්‍ය සමාගමක් වන, “ගෑස් ප්‍රොම්” සමාගමයි. රුසියාව, මාස ගණනාවක් පුරා යුරෝපයට “නෝඩ් ස්‍ට්‍රීම් වන්” ඔස්සේ ගෑස් සැපයුම අඩු කරමින් සිටි අතර, බලධාරීන් සඳහන් කළේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් එය සිදු කළ බවයි. ඉකුත් ජූලි මස මෙම නල මාර්ගය, දින 10 ක් වසා තැබුණු අතර, පසුව එය යළි විවෘත කිරීමට “ගෑස් ‍‍ප්‍රොම්” ආයතනය කටයුතු කළා.

    උපකරණවල දෝෂයක් යැයි පවසා මෙම නල මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබීමට පියවර ගැනුණේ, ඉකුත් අගෝස්තු මස අගභාගයේදී. සති කිහිපයකට පෙර නෝර්වේ සහ ඩෙන්මාර්ක් බලධාරීන් බෝන් හෝම් දූපත අසළ බෝල්ටික් මුහුදේ මෙම නල මාර්ග දෙකෙහි ගෑස් කාන්දුවීම් 4 ක් පිළිබඳව අදාළ අංශ වෙත වාර්තා කළා. භූකම්පන පිළිබඳ විද්‍යාඥයින් පවසන්නේ, එම මුහුදු ප්‍රදේශයේ යට පිපුරුම් ඇති වූ බව, අනාවරණය වූ බවයි. නල මාර්ගය ඔස්සේ ගෑස් ගලා නොගිය ද එම අවස්ථාවේදී ගෑස් පිරී තිබූ බවයි, වාර්තා වන්නේ. විශාල ගෑස් බුබුළු බෝල්ටික් මුහුදේ මතු පිටට නැගී ඇති අතර එහි, විශාලතම විශ්කම්භය කිලෝමීටරයක් පමණ වනවා. කාන්දුවීම හිතාමතා රුසියාව විසින් සිදු කරනු ලබන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට, යුරෝපා සංගමයේ නායකයින් චෝදනා කරනවා. යුරෝපානු සංගමයේ රටවල් යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට එරෙහි පළිගැනීමක් ලෙස මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වුවද, රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම, නල මාර්ගය වසා දැමීම හේතුවෙන් යුරෝපීය ගෑස් තොග මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි, ආර්ථික විශේෂඥයින් පවසන්නේ. මෙය, යුරෝපීය ආර්ථිකය මන්දගාමී කිරීමට හේතු වී ඇති බව, ඔවුන් අවධාරණය කරනවා.

    Latest News