හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
මධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් වරායා අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්ධු වික්‍රම ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය මීළඟ නඩු දිනයට පෙර සංශෝධනය නොකරන්නේ නම් එම විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුවන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ සීයකට අධික වත්කම් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා මේ වන විට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තුන්දෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90 ක දඩයක් නියම කළා.
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තර කරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඉකුත් රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන ජනවාරි මස 27 වනදා දක්වා තවදුරටත් දිර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
අම්බුළුවාව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළකාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් නිකුත් කළේය.

Latest News