වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව ජනපති ශෝක පණිවිඩය

පෙබ 15, 2021

    වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

    ශෝක පණිවිඩය....

    අපේ රටේ ජනතා ගෞරවාදරයට පාත්‍රව සිටි විශිෂ්ට පුරවැසියකු සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමාගේ අභාවය පිළිබඳව මගේ බලවත් සංවේගය පළ කරමි.

    ඔහු කථානායකවරයකු, කැබිනට් ඇමතිවරයකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූවෙකි. ජනතාභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ බුහුමනට ලක්විය.

    සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය පිළිබඳ විමර්ශනශීලී ප්‍රාඥයකු වූ ඔහු භක්තිමත් භාෂා ප්‍රේමියෙකි. ඔහු සිය භාෂා දැනුම හා ලැදියාව හෙළ හවුල ඔස්සේ රටට සමාජයට විශද කළේය. ලොකුබණ්ඩාරයෝ හෙළ සාහිත්‍යයෙහි නොමැකෙන සටහන් ගණනාවක්ම තැබූහ. චතුර බවෙන් පිරිපුන් ඔහුගේ හරබර දෙසුම් සේම මනා වාග් විලාශය සාහිත්‍යධරයන් පමණක් නොව සාමාන්‍ය ජනයා ද ඔහු කෙරෙහි ඇද බැඳ තැබීය. ආගම දහම විෂයයෙහි ඔහුගේ නිපුණතාව හා දැක්ම සාම්ප්‍රදායික හෙළ බොදුනුවකුගේ ජීවන රටාවට කදිම ආදර්ශයකි.

    ජනතාවාදී දේශපාලනඥයකු, සාහිත්‍යධරයකු, විචාරකයකු සහ ප්‍රාමාණික වියතකු ලෙස වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා තැබූ සලකුණු තවත් බොහෝ කාලයක් සමාජයේ කතිකාවන්ට මූල බීජ සපයනු නිසැකය.

    මා හිතවත් වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමාට අජරාමර නිවන් සුව අත්වේවා යි පතමි.

    Latest News