2018 ජාතික ඵලදායිතා අන්තර් අමාත්‍යාංශ කාණ්ඩ ප්‍රථම ස්ථානය ජනාධිපති කාර්යාලයට

නොවැ 15, 2019

    2018 ජාතික ඵලදායිතා සම්මාන උලෙළේ දි ජාතික ඵලදායිතා අන්තර් අමාත්‍යාංශ කාණ්ඩ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට ජනාධිපති කාර්යාලය සමත් වෙයි.

    ඵලදායිතාවය ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර අංශ අතර පැවති තරගයේ ජයග්‍රාහක අංශ වෙත තිළිණ පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා ආයතන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර, එහි රාජ්‍ය අංශයේ ආයතනවල නායකත්වය, සේවාලාභී සබඳතා, සැලසුම්කරණය හා උපායමාර්ගික මානව සම්පත් ක්‍රියාවලි, තොරතුරු හා දැනුම් කළමනාකරණය යන අංශවල සේවා විශිෂ්ටත්වය ප්‍රධාන නිර්ණායක ලෙස සලකනු ලැබීය.

    මෙම තරගාවලියට ජනාධිපති කාර්යාලය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඝෘජු නායකත්වය හා ආශිර්වාදය නිරන්තරයෙන් හිමි වූ අතර සමස්ත රාජ්‍ය සේවයේ ඵලදායිතාව වර්ධනය කරමින් තිරසර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් එතුමාගේ නායකත්වය යටතේ පසුගිය පස් වසර තුළ පුළුල් වැඩකොටසක් ඉටුකරන ලදී .

    ජනාධිපතිතුමා අතින් අදාළ අංශ වෙත සම්මාන හා තිළිණ පිළිගැන්වීම සිදු වූ අතර ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News