කොත්මලේ ජලාශ වේල්ල මීටර් 30 කින් ඉහළට

නොවැ 03, 2020

    මහවැලි H කලාපයට අයත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයේ වී වගාව සහ කෘෂි බෝගවගාව ඉහළ නැංවීමේ අරමුණින් දැනට සැපයෙන ජල ධාරිතාවය වැඩිකිරීමේ අරමුණින් කොත්මලේ ජලාශ වේල්ල මීටර් 30 කින්, එසවීමට සැලසුම් කර ඇති බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ප්‍රකාශ කරයි.

    සිරිපාල ගමලත් මහතා මේ බව කියා සිටියේ කොත්මලේ ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

    අනුරාධපුරය, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැනට සැපයෙන ජලයට අමතරව, අතිරේක ජල සැපයුමක් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.

    ඒ අනුව මහවැලි ගඟේ පොල්ගොල්ල හැරවූමෙන් බෝවතැන්න හරහා වන ජල සැපයූම යටතේ කලාවැව, රාජාංගනය වැව, දඹුලු ඔය, කණ්ඩලම යන වැව් පද්ධතිය තවදුරටත් ජලයෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ, සිදුකෙරෙනු ඇති.

    මෙසේ වැව් පද්ධතිය පෝෂණය කිරීම තුළින් , කෘෂි කාර්මික වගා බිම් රැසකට අලුතින් ජලය සැපයෙන අතර, පානීය ජල අවශ්‍යතාව සඳහා මූලාශ්‍ර ලෙස යොදා ගැනීමට හැකියාව උදාවේ.

    මීටර් 30 කින්, ජලාශ වේල්ල ඉහළට එසවීමෙන් කොත්මලේ ජලාශයේ දැනට පවතින ඝනමීටර් මිලියන 174 ක ජල ධාරිතාවය ඝනමීටර් මිලියන 391 දක්වා ඉහළ යන බව කොත්මලේ ජලාශ භාර ඉංජිනේරු RMS වත්සල මහතා සඳහන් කළේය.

    මෙහි දැනට නිෂ්පාදනය කරනු ලබන විදුලිය ධාරිතාවය මෙගවොට් 210 කි.

    වේල්ල එසවීමෙන් එය මෙගවොට් 240 දක්වා ඉහළ දැමිය හැකි බව ද හෙතෙම පෙන්වා දේ.

    දැනට කොත්මලේ ජලාශ වේල්ල දිගින් මීටර් 600 ක් වන අතර එය උසින් මීටර් 87 කි.

    මෙම සංචාරය සඳහා, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී. පළුගස්වැව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුනිල් එස් පෙරේරා යන මහත්වරු සහභාගීවී සිටියහ.

    Latest News