මල්ලවපොර ඉතිහාසය අලුත් කළ නෙත්මි දිවයිනට

සැප් 09, 2024
    වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

    ඇය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටු‍පොළට පැමිණ සිටියා.

    තරගාවලිය පැවැත්වුණේ, ස්පාඤ්ඤයේදී.
    ලෝක මලල්වපොර සම්මේලනය විසින් සංවිධාන කළ තරගාවලියට, රටවල් 100 කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගී වුණා.
    කිලෝග්රෑම් 53 බර පන්තියෙන් ඇය ලෝකඩ පදක්කම සඳහා තරගයේදී ස්වාධීන ක්‍රීඩිකාවන් ලෙස තරගයට එක් වූ රුසියාවේ වැලෙරියා මිකිට්ස්ච් පරාජය කළේ, ලකුණු 6 ට 2 ක් ලෙසයි.
    ඒ අනුව, නෙත්මි අහිංසා ලෝකඩ පදක්කම හිමි කර ගත් අතර, මෙරට ක්‍රීඩා ඉතිහාසයේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ලෙසයි, එය ඉතිහාසයට එක් වුණේ.
    කුරුණෑගල පන්නල වෙල්පල්ල සංඝරතන මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන නෙත්මිගේ පුහුණුකරු වන්නේ, සුරංග කුමාර මහතායි.

    Latest News