බංගලාදේශ ජනාධිපති මන්දිරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ, එරට ජනාධිපති ලේකම්වරයා විසින්. සුවිශේෂි අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සටහනක් ද තැබීය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා අතර සාකච්ජා ආරම්භ කෙරිණ. බංගලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය මෙන්ම, බංගලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මජිබර් රහ්මාර් මහතාගේ ජන්ම ශත සංවත්සර උළෙලට ආරාධිතයෙකු ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණිම ඉතිහාසයේ ලියවෙන බව, ජනාධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලාංකීය සිසුන් වැඩි සංඛ්‍යාවකට එරට උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට තමා සූදානම් බව, අබ්දුල් හමීඩ් මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී මතුව තිබෙන අභියෝග දේශපාලන සහ දෙරට අතර පවතින ඓතිහාසික ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව නායකයන් දෙපළ අතර අදහස් හුවමාරු වූහ.
දෙරට අතර සහයෝගීතාව වඩාත් පුළුල් මට්ටමට ගෙන ඒමට තම සංචාරය වැදගත් වූ බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මෙම හමුවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිස සාර්ථක දෙදින නිල සංචාරය නිම කර යළි මෙරටට පැමිණියේය.