අගමැතිතුමා ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී

ජූලි 04, 2021

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.

    ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අගමැතිතුමා සහ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පළමුව දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහත්වරු විසින් පිළිගනු ලැබූහ. අගමැතිතුමා සහ ආර්යාව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය.

    දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අගමැතිතුමා දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආනමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනුනාහිමියන් බැහැ දුටුවේය.

    අගමැතිතුමා මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය. එහි දී මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමි බැහැදුටු අගමැතිතුමා උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේය.

    අස්ගිරි මහ විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියෝ ද එහි වැඩ සිටියහ. අනතුරුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගිය අගමැතිතුමා අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගිය අගමැතිතුමා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    මෙහි දී මහවැලි ගඟට යාවන ගැටඹේ බෝධියේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව අගමැතිතුමාගේ අවධානය යොමු විය. මහවැලි අමාත්‍යාංශය යටතේ අදාළ ඉදිකිරීම් ඉටු කිරීමට අවශ්‍ය උපදෙස් අගමැතිතුමා විසින් ඒ මොහොතේම රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට ලබා දෙන ලදි. යුද හමුදා සහය ඇතිව අදාළ පැති බැම්ම ඉදි කරදෙන ලෙස අගමැතිතුමා දැනුම් දුන්නේය.

    මේ අතර අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත ගිය අගමැතිතුමා මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ පරිවෙනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම ආගමික වතාවත්වලට රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

    Latest News