ෆොනී ගියත් තවදුරටත් තද වැසි හා සුළං

මැයි 03, 2019

    මධ්‍ය - බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 03 වන දින පෙ.ව. 02.30 වනවිට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.1140 පමණ දුරින් උතුරු අක්ෂාංශ 18.6 ත් නැගෙනහිර දේශාංශ 85.2 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ නිසා මෙම පද්ධතියෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දේ.                                                                                                                                                                                                                                                                        

    දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.50 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකි බව වාර්තා වේ.

    දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    Latest News