දිවයිනේ ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි

මැයි 04, 2019

    දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඊයේ සහ අද කළ පරීක්‍ෂාවන්වලදී ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ තවත් සැකකටයුතු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ. කල්තොට කූරගල තන්ජන්තැන්න ප්‍රදේශයේ අද සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් හා ඊට භාවිත කරන ජීව උණ්ඩ 6ක් සමඟ 23 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබීමට නියෝග කෙරිණ.

    හෙම්මාතගම නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන රෙදි තොගයක් සොයා ගනු ලැබීය. එහි තිබී දිග කලිසම් දෙකක්, කොට කලිසම් තුනක්, රෙදි කැබලි 83ක් සමඟ කිලෝ 21ක් බරැති රෙදි තොගයක් ආරක්‍ෂක භාරයට ගැණින. සැකපිට අත්අඩංගුවට ගත් ඇඟලුම් කම්හල් හිමිකරුවෙකු වන මොහම්මද් ෆරීඩ් මුන්තායුල් නමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මාරවිල පොලිසිය සහ යුද හමුදාව එක්ව නාත්තන්ඩිය ප්‍රදේශයේ අද උදේ කළ සෝදිසි මෙහෙයුමක දී අරාබි භාෂාවෙන් සඳහන් පුළුස්සන ලද පෝස්ටරයක් හා විදේශීය රටක ආරක්‍ෂක අංශ භාවිත කරන හමුදා ඇඳුමක් සොයා ගෙන තිබේ. සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු කාන්තාවන්. මෙහෙයුම සිදුකරන අවස්ථාවේ ඔවුන් පෝස්ටරය පුළුස්සමින් සිටි බව පොලිසිය පවසයි. මේ අතර මඩකලපුව කුලාවඩි ප්‍රදේශයේ අතහැර දමා ගිය පාර්සලයක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී වීඩියෝ කැමරාවක්, චාජරයක් හා වයර් සොයා ගෙන තිබේ.

    බේරුවල, ප්‍රදේශයේ අද උදේ කළ සෝදිසි මෙහෙයුමකදී කඩු, පිහි, යුද හමුදාව භාවිත කරන දුරකථනයක් සහ වායු රයිෆලයක් සමඟ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්‍ෂ 18ක මුදලක් ද සොයා ගැණින. සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකතන පරීක්‍ෂා කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    ඊයේ සවස කටුනායක සහ සීදුව ප්‍රදේශවල ද ඊයේ සවස විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ. එහිදී ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු විවිධ වර්ගයේ ජීව උණ්ඩ, ඩ්‍රෝන කැමරා දෙකක්, පරිගණක යන්ත්‍රයක් හා කඩු ඇතුළු තවත් උපකරණ රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මීගමුව ප්‍රදේශයේ කාණුවක තිබී බෝර 12, ජීව උණ්ඩ 93ක් ඇතුළු තවත් ජීව උණ්ඩ හා හිස් පතොරම් කොපු 9ක් සොයා ගෙන තිබේ.

    Secu px 900 04 05 19

    කාත්තන්කුඩි ප්‍රදේශයේ අද උදේ කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ මයික්‍රෝ පිස්තෝලයක් සහ පතරොම් 6ක් සොයා ගෙන තිබේ. මේ අතර, කාන්තන්කුඩි අරාබි විදුහල අසළ සුසාන භූමියක තිබී අත් බෝම්බ දෙකක්, පොරවක්, කඩුවක්, සන්නිවේදන උපකරණ දෙකක්, කථන උපකරණයක් හා සංයුක්ත තැටි 10ක් සොයා ගැණින.

    හොරණ, මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගොස් ඇති ව්‍යාජ රෙජිස්ටාර් කාර්යාලයක් ඊයේ සොයා ගැණින. ව්‍යාජ උප්පැන්න හා විවාහ සහතික, නිල මුද්‍රා සමඟ රජයේ රෙජිස්ටාර් කාර්යාලයකින් සොරාගත් හිස් ලිපි ශිර්ෂ රැසක් සමඟ මුදල් අමාත්‍යාංශයේ කාර්යාල සහකයෙකු ද පොලිස් විශේෂ කාර්ය සාධක බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කළුතර නීතිය බලගැන්වීමේ ඒකකය, මීගහතැන්න, ගොරකදූව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයෙකු ළඟ තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් හමුවී තිබේ. ඊට යොදන උණ්ඩ දෙකක් ද සොයා ගැණින.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේනක බිබිලේ ශිෂ්‍ය නේවාසිකාගාරය පරීක්‍ෂා කිරීමේදී ගමන් කථන දෙකක් සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් සොයා ගැණින. මෙහෙයුම ක්‍රියාත්මක කළේ, මධ්‍යම පළාත් 11වැනි යුද හමුදා බලසේනාවයි.

    යුද හමුදාව කුරුණෑගල, මල්ලවපිටිය නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි සිවිලිමේ සඟවා තිබූ කඩු දෙකක්, යුද හමුදා නිල ඇඳුමක්, සැකකටයුතු සීඩි තැටි 40ක් හා විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් සොයා ගැණින. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මාරවිල පොලිසිය ඊයේ සවස කළ සෝදිසි මෙහෙයුමකදී ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ඉතාලියේ නිෂ්පාදන පිස්තෝලයක් සොයා ගැනීමට සමත්විය. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News