මිග් ගණුදෙනුවේන් උදයංගගේ ගිණුමටත් රටවල් 4කින් මුදල්: බිරිඳ, මස්සිනා, නැන්දම්මාගේ ගිණුම් පරීක්ෂාවට

මැයි 29, 2019

    මිග් යානා ගනුදෙනුවට අදාලව සිදු කරන විමර්ශනයේදී රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මෙරට ගිණුමට විදේශ රටවල් හතරකින් මුදල් සම්ප්‍රේෂණ වී ඇති බව සිදු කළ විමර්ශන වලින් අනාවරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

    ඒ ශ්‍රීලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී එවක රුසියානු තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා විසින් විශාල මුදලක් සාවද්‍යය ලෙස පරිහරණය කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී.

    සයිප්‍රස්, පැනමාව යන රටවල් වලින් මුදල් සම්ප්‍රේෂණය වීම් වලට අදාලව ඉල්ලා සිටි ලේඛන මෙරටට එවා ඇති බවත් ඒවා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවත් කියා සිටි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වා සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා තවත් රටවල් දෙකකින් මේ සම්බන්ධයෙන් වාර්තා ලැබීමට නියමිත බවත් කියා සිටියේය.

    සයිප්‍රස්, පැනමා වැනි රටවලින් මුදල් ඒවා ඇති සමාගම් වල අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කර ඇත්තේ යුක්රේන ජාතිකයන් බවට අනාවරණය වී ඇති බව උදාර කරුණාතිලක මහතා කියා සිටියේය.

    සිංගප්පූරුවේ පිහිටි බෙරිමිසා සමාගමේ අධ්‍යක්ෂවරයන් වන සිද්ධියට අදාළව සැකකරුවන් වන ටී එස් ලී,එන් ජේ ලේක් හිමි, පෙරගඩොව් යන අය සම්බන්ධයෙන් නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුව වලට අනුව රතූ නිවේදනයක් ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව ප්‍රකාශ කළ අතර කුර්දිර්කොව් යන සැකකරු සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් ඔහු කියා සිටියේය.

    උදයංග වීරතුංග මහතා මෙරටට උදර්පනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඩුබායි රාජ්‍යයේ පවරා ඇති නඩුව ලබන ජුලි මස 21 වනදා කැදවීමට නියමිත බවත් එම නඩුව නිළ මැදිරියේදී කැදවීම් සිදු කරන බවත් කියා සිටි අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා එය කුමන කාරණයක් හේතුවෙන් සිදු කරනවාද යන්න නොදන්නා බවත් කියා සිටියේය.

    ඔහු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ සිදු කර ඇති විමර්ශන සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

    මේ නඩුවේ ප්‍රධාන සැකකාර හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අයගේ ගිණුමකට පැමිණි විදේශ මුදල් සම්බන්ධයෙන් මෙන්ම බිරිඳ මස්සිනා නැන්දම්මාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරමින් පවතින බව කියා සිටි කරුණාරත්න මහතා උදයංග වීරතුංගගේ බිරිඳ වන උමා ඉන්දුමතී මනම්පිටිය යක අයගේ සම්පත් බැංකුවේ ගිණුම් 8කට අවස්ථා 33 දී මුදල් ලැබීම ගෙවීම් සීදූව ඇති බවත් නැන්දණියට අයත් ගිණුමත් මේ වනවිටත් සක්‍රිය ලෙස මුදල් ලැබෙමින් පවතින බවත් ඒවා පරීක්ෂා කිරීමට බැංකු වෙත යොමු කරන්නැයි ඉල්ලා සිටි ඉල්ලීම් වලට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

    විමර්ශන සම්බන්ධයෙන් ප්‍රගතිය ලබන අගෝස්තු මස 27 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

    Last modified on බදාදා, 29 මැයි 2019 11:12

    Latest News