ජපානයේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

නොවැ 12, 2018

    ජපානයේ වෘත්තිය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචි අවස්ථාව සැලසීමට ජපාන රජය තීරණය කර ඇත.

    ජපන් ජාතික ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම පාදක කර ගනිමින් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙල ලබන අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
    කාණ්ඩ 2ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි
    පළමු කාණ්ඩය සදහා වසර 3ක තාක්ෂණික පුහුණුව හා ජපන් භාෂාව හදාරා තිබිය යුතුය. ඔවුන් සදහා වසර 5ක නේවාසික වීසා කාලයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සදහා මෙය වලංගු නොවේ. එසේම වසර 5ක විසා කාලයක් හිමිවු ශ්‍රමිකයින්ට වසර 10ක් දක්වා එරට සේවය කිරීමට අවස්ථාව සැලසේ. මෙම ශ්‍රමිකයින් සදහා ජපන් රජය විසින් නේවාසික පහසුකම් සලසා දෙනු ලැබේ. කෘෂි, හෙද, සාත්තු සේවක, ආහාර පාන නිෂ්පාදනය, ඉදිකිරීම්, නැව්බඩුකරණ සහ නැව් යන්ත්‍රරෝපකරණ, ආගන්තුක සත්කාරය, ආහාර සේවා, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තශාලා, විද්‍යුත් සහ විදුලි උපකරණවලට අදාළ කර්මාන්ත, වාහන නඩත්තු කිරීම සහ ගුවන් සේවා වැනි රැකියා ක්ෂේත්‍ර සදහා රජය විසින් ලබාදෙනු ලබන නේවාසික පහසුකම් හිමිවේ.
    දෙවන කාණ්ඩය යටතේ වර්ගීකරණය කරනු ලබන ශ්‍රමිකයින් සදහා ජපානයේ රැදීසිටිමේ නිශ්චිත කාලයක් සීමා නොකෙරේ. මෙම ශ්‍රමිකයින් සදහා ස්ථිර නේවාසික පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ පවුලේ ඥාතීන්හටද ජපානයේ රැදී සිටිමේ අවස්ථාව හිමිවේ.
    නොයෙකුත් රටවල ආගමන විගමන ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් පවුලේ ඥාතීන් සමග ජපානයට පැමිණෙන ශ්‍රමිකයින් සදහා වසරකට වරක් මෙම වීසා බලපත්‍ර පිළිබදව සමාලෝචනයක් සිදුකරන අතර, බරපතල සිදුවීම් වාර්තා වුවහොත් වීසා බලපත්‍ර අවලංගු කිරීමට ජපන් රජය කටයුතු කරනු ලැබේ.
    ජපානය තුළ නීතිවිරෝධිව රැදී සිටිම පාලනය කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය හේතුවන බව එරට රජය විශ්වාසය පළකරයි. ජපානයේ නීතිවිරෝධි ලෙස රැදී සිටින පුරවැසියන්ගේ හා ජපන් සරණාගත ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් එරට රැදීසිටින සරණාගතයින්ගේ රටවල් සදහා මෙම අවස්ථාව හිමි නොවේ.‍ විදේශීය සේවකයන්ගේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය කටයුතු කරන අතර, ඔවුන්ගේ සේවා යෝජකයන් හෝ වෙනත් ආයතන වෙතින් ඔවුන්ගේ ජීවනෝපාය සහාය ලබා ගත යුතුය. ඔවුන්ගේ වැටුප් මට්ටම් ජපන් ශ්‍රමිකයින්ගේ වැටුප හා සමාන බව ජපන් රජය සහතික කර තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

     

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 15:36

    Latest News