වියළි කාලගුණයෙන් පුද්ගලයන් රැසකට පීඩා

අගෝ 01, 2019

    දිස්ත්‍රික්ක 20කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් රැසක් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පානීය ජල ගැටලුව, වගා හානිය සහ කැලෑ ගිනි තැබීම ද මේ තත්වයට තවත් හේතුවක්. ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාවයි. නැගෙනහිර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව ද පීඩාවට පත්ව සිටී. පීඩාවට පත් සමස්ත පුද්ගල සංඛ්‍යාව ලක්‍ෂ 06ක්. පානීය ජල ගැටලුවට මුහුණ දී ඇති පිරිස, එක් ලක්‍ෂ පනස් දහසක්. සහන කටයුතු ක්‍රියාත්මක කරන්නේ, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ග්‍රාම නිලධාරීන් එක්වයි. ජල බවුසර් 600ක්, ජල ටැංකි 15,000ක් ජල සැපයුම සඳහා යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මේ අතර, අඟුණු කොලපැලැස්ස, මුරවැසිහේන සහ දෙණිය ඒකක යන ප්‍රදේශවල අස්වද්දන ලද කුඹුරු අක්කර 2,000ක් පමණ විනාශ වීමට ආසන්න බව පවසමින්, ගොවීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වූහ. ඒ, අදාළ බලධාරීන් වාරි ජලය ලබා නොදෙන බව පවසමින්.

    මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රොටවැව හන්දිය කලාපයේ තෘණ වගාවකට හානි සිදුව තිබේ. ඒ, ගිනි තැබීමක් හේතුවෙන්. තෘණ වගාව අක්කර 10ක් පමණ වේ. නියං සහිත කාලගුණය හා දැඩි සුළං තත්වය ගින්න පැතිරීමට හේතුවයි. මින්නේරිය පොලිසිය, යුද හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 19:56

    Latest News