වසරකට ගෙන්වන කෘමිනාශක ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5,000ක්. කෘමිනාශක ශරීරයට අහිතකර බව විශේෂයෙන් කිව යුතුයි. මේ නිසා බෝ නොවන රෝගත් දිනෙන් දින ඉහළ යමින් පවතී. කෘෂි රසායනවල ආසනික්, කැඩිමියම් සහ වෙනත් විෂ වර්ග රැසක් අන්තර්ගතයි. රසායනික පොහොර ලෙස භාවිත කරන ත්‍රිපල් සුපර් පොස්පේට් හෙවත්, යූරියාවල පවා ආසනික් අඩංගු බව තහවුරු වී තිබේ. අනුරාධපුර, පදවිය, කොළඹ යන ප්‍රදේශවලින් ලබාගත් යුරියා සාම්පලවල ආසනික් අඩංගු වී තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ ලබාගත් යූරියා කිලෝවක ආසනික් මයික්රොග්රෑම් 4,253ක් අන්තර්ගතයි. මෙරට සහල්වල ද විශාල වශයෙන් ආසනික් අන්තර්ගතවී ඇත. මෙහි අහිතකර ප්‍රතිවිපාක කුඩා දරුවාගේ සිට මහලු පිරිස් දක්වා සියල්ලන්ටම අත්විඳීමට සිදුව තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසක වී ගොවිතැන සිදු කෙරෙන්නේ පැරණි හෙළ ගොවි තාක්ෂණයෙන්. කෘෂි රසායන කිසිවක් භාවිත නොකර ඖෂධීය කෘෂි දියර වර්ග පමණක් යොදා ගැනීම මෙහි විශේෂත්වයක්. මෙය සාදා ගනු ලබන්නේ ගස්වල කොළ සහ පොතු වර්ග 20ක් පමණ යම් අනුපාතයකට මිශ්‍රකර පල්වීමට ඉඩ හැරීමෙන්. අක්කපාන, ඉරිවේරිය කොළ, නිදිකුම්බා, ගොම සහ කොහොඹ ඊට යොදා ගැනේ. මුලුමනින්ම විෂ රහිත ද්‍රාවණයක් වන එම දියරයෙන් කිසිදු සතෙකු මිය නොයයි. සිදුවන්නේ වගාවට අහිතකර සතුන් පලවා හැරීම සහ හිතකර සතුන් ආකර්ශනය කිරීමයි. වෙනත් කෘමි නාශක සුළු ප්‍රමාණයක් ශරීර ගත වුව ද, එය මරණයට පවා හේතු විය හැකියි. එහෙත්, මෙහි කිසිදු වස විසක් අන්තර්ගත නොවන බව ගොවි මහතුන් තහවුරු කරයි.
සාමාන්‍ය වී බුසලකට කිලෝ 20.5ක් ඇතුළත්. එහෙත් මෙම වීවල බර කිලෝ 22.5ක්. මෙම ගොවිතැන් සිදු කෙරෙන්නේ වසර 7ක, 8ක අත්දැකීම් සහිතවයි. අක්කරයකට වියදම රුපියල් 2500-2800ක් පමණ. එහෙත්, රසායනික පොහොර භාවිතයේදී අක්කරයකට රුපියල් 20,000/= පමණ වියදමක් දැරීමට සිදුවේ. විකල්ප තිබියදීත් ක්‍රියාත්මක නොකිරීමෙන් එය සමස්ත ජාතියටම භයානක ප්‍රතිඵල ගෙනදීමට හේතුවිය හැකියි. මෙවැනි නිෂ්පාදන කඩිනමින් ප්‍රචලිත කිරීමට පියවර ගැනීම ඊට යෝග්‍ය එක් විසඳුමක් වනු ඇත.