අමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශය ගැන පැහැදිළි කිරීම

අගෝ 04, 2019

    ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ උපදේශනය ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයින් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

    මධ්‍යස්ථානය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එය පදනම් කර ගනිමින් තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවන බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන අමෙරිකානු පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු පිණිස උපදෙස් ඇතුළත් ආරක්‍ෂක දැන්වීමක් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය දෙවැනිදා නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, දෙවැනි මට්ටමේ ආරක්‍ෂක තත්වයක් පවතින ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී වටපිටාව සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත්විය යුතු බව පමණි.

    ප්‍රංශය, රුසියාව, චීනය, ඉතාලිය, ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය හා මාලදිවයින සම්බන්ධයෙන් ද අමෙරිකාව නිකුත් කර ඇත්තේ ද මීට සමාන දෙවැනි මට්ටමේ ආරක්‍ෂක තත්වයක් පිළිබඳ නිවේදනයක්. අමෙරිකානු ආරක්‍ෂක උපදේශනය සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර ඇති බව අමෙරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සිය ට්විටර් ගිණුම මගින් ද පැහැදිලි කර තිබේ. ඇය එහිදී කියා සිටින්නේ, එම උපදේශනය නිතර නිකුත් කරන සාමාන්‍ය නිවේදනයක් පමණක් වන බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දෙවැනි දිනට පෙර පැවති තත්වයේ ද කිසිදු වෙනසක් එමගින් සිදු කර නැහැ.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 13:08

    Latest News