ඇසළ පෙරහැරට විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්

අගෝ 04, 2019

    ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ආරක්‍ෂක ලේකම් ලුතිතන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

    ආරක්‍ෂක ලේකම්වරයා අද උදේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන ආශීර්වාද ලබාගත්තේය. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය හෙට ආරම්භ වේ. දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා පෙරහැර ආරක්‍ෂාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කළේය.

    ලුතිතන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා...

    “අපි ආරක්‍ෂාව පැත්තෙන් සෑම පැත්තක්ම බලලා, බෞද්ධ ජනතාව පමණක් නොවෙයි විදේශීකයෙනුත් මේ පෙරහැර නරඹනවා. සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි උපරිමයෙන් සාකච්ජා කරලා මොනවගේ ප්‍රශ්න ඇතිවෙයිද කියලා අපි සමාලෝචනයක් කරලා දැන් සියයට සියයක් හොඳින් කරන්න කටයුතු කරලා තියෙනවා. හෝටල්වල ආරක්ෂාවටත් කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනතාවත් සැකකටයුතු දෙයක් දැක්කහම අපිව දැනුවත් කරන්න කියලා. ජනතාවගෙන් ඉල්ලන්නේ මේ උත්සවය නරඹන්න එනකොට අමතර ගමන් මළු අරගෙන එන්න එපා. විනිවිද පේන බෑග් අරගෙන එන්න කියලා. සමහර අය හිතන්න පුලුවන් අපි බෞද්ධ උත්සවවලට පමණක් නොවෙයි අපි ආරක්‍ෂාව සපයන්නේ කියලා එහෙම එකක් නැහැ. තලවිල දේවස්ථානයේ උත්සවයටත් අපි විශාල ආරක්‍ෂාවක් ලබාදුන්නා. නල්ලූර් කෝවිලේ උත්සවයටත් එහෙම තමයි. ආගමික උත්සවවලට මහජනතාව ගොඩක් ගැවසෙන නිසා ඒ අයගේ ආරක්‍ෂාවටත් ඒ උත්සවය බාධාවක් නොමැතිව කරගෙන යන්නටත් අපි අපේ උපරිම ආරක්‍ෂක කටයුතු සංවිධාන කරනවා“ යැයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.

     

     

     

     

    Latest News