සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසන්නේ, ඔසප් සමය තුළ තම සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බවයි.
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම පවුලේ සමීපතමයන් පමණක් නොව අසල් වැසියන්ට ද රහස් නොවන්නේ, එකී ස්වභාවික සන්සිද්ධිය උත්සවාකාරයෙන් සමරන නිසයි. එහෙත් ඔසප් වීම, සනීපාරක්ෂාව, උපත් පාලනය වැනි ලිංගික අධ්‍යාපනයට ඇතුළත් වන බොහෝ කරුණු මෙරට තුළ බොහෝ කතාබහට ලක් නොවූ මාතෘකා බවට පත්ව තිබේ. එවැනි පසුබිමක ඔසප්වීම පාසල් වයසේ පටන් සේවා ස්ථානය දක්වාම කාන්තාවන්ට අභියෝගයක්. සනීපාරක්ෂක ඇඟලුම් සහ ඔසප් සමයේ භාවිත කරන සනීපාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින්නේ ද ඉහත ආකල්පයමයි. දකුණු ආසියාවේ පාසල් තුළ ඔසප් සනීපාරක්ෂක කළමනාකරණය සම්බන්ධයෙන් වොටර් ඒඩ් සහ යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව වැඩිවියට පත්වීමට පෙර ඔසප්වීම පිළිබඳ තොරතුරු නොදන්නා දැරියන්ගේ ප්‍රතිශතය වැඩිවියට පත්වන තෙක් ඔසප්වීම දැන සිට ඇත්තේ 66%ක් පමණයි. එමෙන්ම, දුගී භාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැරියන් වැඩි දෙනෙක් සනීපාරක්ෂක ඇඟලුම් භාවිත කිරීමේ විශාල අඩුවක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔවුන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වෛද්‍ය උපුල් ගුණසේකර මහතා....
“මාතෘ සහ ළමා සෞඛ්‍ය පිළිබඳ සියලු වගකීම් දරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට වාර්ෂික සභා රැස්වීමේ ආරාධිත දේශනය කරන්න මට ආරාධනාවක් ලැබුණා. මතුකරපු වැදගත්ම කරුණ තමයි ලංකාවේ කාන්තාවන්ගේ, පාසල් යන දරුවන්ගෙන් 30%ක් විතරයි මේ සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ කියන කාරණය. මේක යුනිසෙෆ් සංවිධානය කරපු පරීක්ෂණ වාර්තාවක ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ අය එදා දවසේ එළිදැක්වුයේ. පාසල් යන දරුවන්ගෙන් වැඩකරන පැයවලින් මිලියන 1.3ක් එක අවුරුද්දකට ඒ අය අපතේ යවනවා. මේ මාස් ශුද්ධිය කළමනාකරණය කරගන්න බැරි නිසා. ඒ අය කොතරම් අපහසුතාවට පත්වෙනවද මේ සනීපාරක්ෂක තුවා විසිකරන්න තැනක් නැත්නම්, මාරුකරගන්න තැනක් නැත්නම් ඒ අයට අපිරිසිදු රෙදිකඩක් නම් ගේන්න සිද්ධවෙන්නේ පාසල් එනකොට මේ දරුවෝ පාසල් එන්නේ නැත්නම්, හැම දරුවෙක්ම මාසෙකට දවස් 3-5ත් අතර ප්‍රමාණයක් ඒ කියන්නේ මාස දෙකක් අවුරුද්දකට තමන්ගේ ජිවිත කාලයෙන් කොන්වෙලා ඉන්නවනම් තමන්ගේ ගෙදරට වෙලා කොතරම් අපරාධයක් ද? කියන කාරණය තමයි අපි එදා වෛද්‍යවරු හැටියට සාකච්ජා කළේ“ යැයි වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවසීය.
කාන්තාවන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය අංගයක් වන සනීපාරක්ෂක ඇඟලුම් මෙරට තුළ තවමත් සුඛෝපභෝගි අංගයක්. 2018 දී සනීපාරක්ෂක තුවා, සෙස් බද්දෙන් නිදහස් කළ ද එය වැට් බද්දෙන් සහ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර නැහැ. මෙරට කාන්තාවන් බහුතරයකට සනීපාරක්ෂක ඇඟලුම් අලෙවි වන්නේ, වියදම් කළ නොහැකි මට්ටමේ වැඩි මිලකටයි. අවම වශයෙන් කාන්තාවකට මසකට මේ සඳහා රුපියල් 520ක් පමණ වැය වනවා. එය දිළිඳු ජනතාවට කිසිසේත් දරාගත නොහැකියි. සනීපාරක්ෂක නිෂ්පාදන උදෙසා දැනට මෙරට පවතින අධික මිලෙන් බාලිකා අධ්‍යාපනයට, කාන්තාවන්ගේ සෞඛ්‍යයට හා සනීපාරක්ෂාවන්ට දැඩි අහිතකර බලපෑම් එල්ල කර තිබේ.
වෛද්‍ය උපුල් ගුණසේකර මහතා....
“අපි දැනගන්න ඕනේ දේ තමයි අපි ඝර්ම කලාපීය රටක ජීවත්වන ජනතාවක්. මේ කාරණාව නිසාම බොහෝ සමේ රෝගවලට මුහුණ දෙන ජනතාවක් ඉන්න රටක්. සනීපාරක්ෂක තුවා පාවිච්චි නොකළොත් දරුවන්ට බොහෝ වේලාවට අපි යු.කේ.අයි. කියනවා ඉංග්‍රීසියෙන් මුත්‍රා අමාරු හැදෙන්න පුලුවන්. ඒ හරහා වකුගඩුවලට බලපාන මුත්‍රා අමාරු හැදෙන්න පුලුවන්. පිරිසිදුකම අඩුවීම නිසා ඇතිවන සමේ රෝගවලට මේ අය ගොදුරු වෙන්න පුලුවන් විශේෂයෙන්ම ප්‍රතිකාර කරන්න හරි අමාරුයි. මේක හැදුනට පස්සේ කාලයක් මේ දරුවෝ දුක් විඳිනවා. දැනුමේ තියෙන දුප්පත්කම නිසා, එහෙම නැත්නම් ආර්ථිකයේ තියෙන දුෂ්කරතාවය නිසා මේ පීඩාවට පත් ජනතාව මුදවාගන්න කතිකාවතක් ඇතිකරන්න බැරි ඇයි“ වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවසීය.
සනීපාරක්ෂක ඇඟලුම් පිළිබඳ පවතින පසුගාමී අදහස් වෙනස් කොට කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පිළිබඳ අවධානය යොමු කොට ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන මෙම බාධක ඉවත් කළ හැකියි. කාන්තාවන්ගේ සෞඛ්‍ය හා ශ්‍රම බලකායට ඔවුන්ගේ දායකත්වය ද එමගින් වර්ධනය කළ හැකියි.