Up Date - අද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දී සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරින්ට ප‍්‍රශංසාව පළ කළේය. ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන යන මෙම උදාර මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය සෑම අවස්ථාවකම හිමිවන බවයි.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී. ඒ. සී. ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබීය.

 

හෙරොයින් සැකකරුන් රඳවා ගැනීමට නියෝගයක් (14.30)

හෙරොයින් කිලෝ ග්‍රෑම් 294.4 ත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාර්තු 01 තෙක් රඳවා ගෙන ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් පොලිසියට අවසර ලබාදී තිබේ. මේ අනුව මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ සියලු අනාවරණය කර ගැනිමට දින 07 කාලයක් ලැබි ඇත.

සැකකරුවන් දෙදෙනා අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

මෙරට විශාලතම හෙරොයින් තොගය පොලිස් අත්අඩංගුවට (10.00)

මෙරට විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඊයේ පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ජනාධිපති විශේෂ මත්ද්‍රව්‍ය වැටළීම් ඒකකය ඒකාබද්ධව ඊයේ (23) සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. 

කොල්ලුපිටියේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ වැටලීමකට අනුව සුපිරි වෙළඳ සංකිර්ණයක රථගාලක නවතා තිබු වාහනකය තිබි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 2945 කට අධික වටිනා සහිත, හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක්, සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. 

 ශ‍්‍රි ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය මීට පෙර සොයාගෙන තිබුනේ දෙහිවල කවුඩාන ප‍්‍රදේශයේ නිවසකින් පසුගිය දෙසැම්බර් 31 වැනිදා සොයාගත් හෙරොයින් කිලෝ 278 ක ප්‍රමාණයයි. එම වැටලිමේදී කොකේන් කිලෝග‍්‍රෑම් 05 ක් ද සොයා ගැණින.

ඊයේ සොයාගනු ලැබු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පංදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මොවුන් සමග මෙම ජාවාරමට සම්බන්ධ වෙනත් පුද්ගලයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. සැකකරුවන් අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Latest News