"රයන්" ලොවක් හඬවමින් නික්මයයි....

පෙබ 06, 2022

    මොරොක්කෝවේ නල ළි කුහරයකට ඇඳ වැටී සිටි පස් හැවිරිදි රයන් නමැති කුඩා දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් අවසානයේ දී දරුවා කුහරය තුළින් පිටතට ගැනීමට හැකි වුවත්, ඔහුගේ ජිවිතය බේරා ගැනීමට නොහැකි වූ බව, මොරොක්කෝ රජය නිවේදනය කර තිබෙනවා.

    උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝවේ කඳුකර ප්‍රදේශයක ජීවත් වූ රයන් මීට දින පහකට පෙර නල ළිං කුහරයට ඇඳ වැටී තිබුණේ සිය පියා සමඟ ඒ ආසන්නයේ රැඳී සිටි අවස්ථාවේදී. දරුවා තමන්ගේ අවධානය මොහොතකට මිදුණු සැනින් ළිං කුහරය තුළට ඇඳ වැටී ඇති බවයි, ඔහුගේ පියා සඳහන් කළේ.
    මීටර් 45කට වඩා ගැඹුරු පතුලක් ඇති එම නල ළිං කුහරය මීටර් 32ක් පමණ ගැඹුරු බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිළිබඳ දැනුවත් කිරීමත් සමඟ ආරක්‍ෂක අංශ පැය 24 පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, මෙහෙයුම් අතරතුර දරුවා සිරවී සිටි ළිං කුහරය තුළට ඔක්සිජන් හා ජලය මෙන්ම ආහාර ද කඹයක් ආධාරයෙන් යොමු කිරීමට සහන සේවකයින් පියවර ගෙන තිබුණා.
    මේ අතර පහතට හෙලන ලද කැමරාවක් ආධාරයෙන් දරුවාගේ තත්වය නිරීක්‍ෂණය කිරීමට ද පියවර ගැණුනා. ළිඳට සමාන්තරව විශාල වළක් කපා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පස් ඉවත් කොට දරුවා සිටින ස්ථානයට ළඟාවීමට ඔවුන් පියවර ගත්තා. දින 04ක් පුරා සිදු වූ මෙම මෙහෙයුම කෙරෙහි පුළුල් අන්තර්ජාතික අවධානයක් යොමු වී තිබුණා. කෙසේ වෙතත්, මෙහෙයුම් අවසානයේ කුඩා රයන් මුදවා ගැනීමට සහන සේවකයින් සමත් වුවත්, ඒ වනවිටත් දරුවා මි‍යගොස් සිටි බවයි වාර්තා වන්නේ. මුදාගත් සැනින් දරුවා රෝහල් ගතකර ඇති අතර දරුවාගේ ජිවිතය බේරා ගැනීමට නොහැකි වූ බව, මොරොක්කෝ රජ මාළිගය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

    Latest News