වෛරසය ආසාදිත බවට සැක 71ක් පසුගිය සතිය තුළ ජාතික බෝවන රෝග විද්‍යායතනයට

පෙබ 02, 2020

    කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරුණු 71 දෙනෙකු පසුගිය සතිය තුළ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

    එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තවමත් තහවුරු වී ඇත්තේ, පසුගියදා හමුවූ චීන ජාතික කාන්තාව පමණක් බවයි.

    වෛරසය වැළඳුනු බවට සැක කෙරෙන රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු වෛරසය නොමැති බව තහවුරු වීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබේ. තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන්නේ, රෝගීන් 09 දෙනෙකු පමණි. රෝගය ආසාදනය වී ඇති වට සැක කෙරුණු චීන ජාතික කාන්තාව ද ඒ අතර වූවාය. ඇය මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි. එම විද්‍යායතනයේ බාහිර රෝගී අංශය ඇතුළු සියලු අංශවල ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවන අතර, සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කැපවීමෙන් සේවා සපයයි. ඒ සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රචාර පළ නොකරන ලෙස, එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අත්තනායක මහතා මාධ්‍යයෙන් ඉල්ලා සිටී.

    චීනයේ වූහාන්හි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා මෙරට ගෙන්වා ගැනීමට සහය දුන් චීන රජය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ආරක්‍ෂක අංශ ඇතුළු සියලු පාර්ශවවලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රණාමය පුද කරයි. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

    එම දරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමා ගත් ප්‍රයත්නයට සහ ඊට සහය දුන් සියලු දෙනාට ප්‍රශංසාව පළ කරන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

    වූහාන්හි සිට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටීන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් ගම්ලත් මහතා පවසයි.

    Latest News