අද මධ්‍යම රාත්‍රීයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට

මාර් 01, 2020

    8වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වසර හතර හමාරක කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණ වනවා.

    ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා. ඉතිහාසයේ ව්‍යාකූලතම පාර්ලිමේන්තුව ලෙසයි මෙය සැලකෙන්නේ. 2015 අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් 8 වැනි පාර්ලිමේන්තුව තේරී පත්වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ, එවක රජයේ පැවති ප්‍රධානතම කාර්යයක් ලෙසයි. එම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ පාලන ක්‍ෂෙත්‍රයේ ක්‍රියාවලිය දැඩි වෙනසකට ලක්වුණා.

    8 වැනි පාර්ලිමේන්තුව තුල දේශපාලනික වෙනස්කම්, ගැටලු සහ අර්බුද රැසකට එය හේතු වුණා. පසුගිය වසර හතර හමාර තුල 8 වැනි පාර්ලිමේන්තුවෙන් අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු අවස්ථා හතරකදී තේරී පත්වීම විශේෂත්වයක්. 2015 මහ මැතිවරණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාත්, 2019 ආණ්ඩු පෙරලියත් සමඟ මහින්ද රාජපක්‍ෂ මහතාත්, අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වුණා. ඉන් දින 52කට පසු යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ අතර, යළිත් 2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වුණා.

    වත්මන් පාර්ලිමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල විපක්‍ෂනායක ධූරයේ තිදෙනෙකු කටයුතු කිරීම ද තවත් විශේෂත්වයක්. 2015 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව තේරී පත්වීමත් සමඟ විපක්‍ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කටයුතු කළා. ඉන් පසු පසුගිය වසරේ දී මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක තනතුරට පත්වන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාස මහතා විපක්‍ෂ නායකවරයා ලෙස පත් කෙරුණා.

    8 වැනි පාර්ලිමේන්තුව ආරම්භයේ දී ම සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයේ ඇතිවූ අසමතුලිතතාව හේතුවෙන් දැඩි අර්බුදයකට රට ගමන් කළා. වත්මන් පාර්ලිමේන්තුව ඉතිහාසයේ පැවති ව්‍යාකූලතම පාර්ලිමේන්තුව ලෙසයි විචාරකයන් පෙන්වා දෙන්නේ. හෙට දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62 කට විශ්‍රාම වැටුප අහිමි වනු ඇති.

    Latest News