අත්අඩංගුවට ගත් සිසුන් 22 හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

මාර් 01, 2020

    අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිසුන් 22 දෙදෙනා හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්. අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඉකුත් 26 වැනිදා සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුණා. ඒ, රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයක් සිදු කරන බව පවසමින්. උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබී තිබූ අතර, ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, ඊයේ සිසුන් දැනුවත් කෙරුණා. එහෙත් ඔවුන් ඊට යහපත් ප්‍රතිචාරක් දැක්වූයේ නැහැ.
    අජිත් රෝහණ මහතා...

    “අපි කිසිම අවස්ථාවක සාමකාමී උද්ඝෝෂණයකට බාධා කරන්නේ නැහැ. ඔබවහන්සේලාට සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තුමියගෙන් නියෝගයක් තියෙනවා. අධිකරණ නියෝගයක්. දැන් ඔබවහන්සේලා රටේ අධිකරණ නීතියට ගරු කරන්නේ නැද්ද? මේ රටේ මිනිස්සු දහස් ගණනක් ඉන්න මහ රෝහලක් මෙහෙම අවහිර කරලා තියන්න දෙන්න බැහැ. මම කාරුණිකව ඔබ වහන්සේලාගෙන් ඉල්ලන්නේ එකයි නැවත වතාවක් මේ ගේට්ටුව අවහිර කරන එක ඉවත් කරන්න. අපි කැමති නැහැ කිසිම බලයක් පාවිච්චි කරන්න. අධිකරණ නියෝගයට ගරු කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ ඔබ වහන්සේට අපි ගරු කරලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ඉල්ලීමට සවන් දෙන්න කියලා“ යැයි අජිත් රෝහණ මහතා පැවසීය.

    අධිකරණ නියෝගය සෘජු ලෙසම කඩ කිරීම හේතුවෙන්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවයි, පොලිසිය කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් නොමැති හෙයින් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඔවුන්, ඇප ඉල්ලීම හෙට සලකා බලන බවයි, අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි ජයතුංග මහත්මිය දැනුම් දුන්නේ. එම පිරිස අතර හිමිවරුන් දෙනමක් ද වනවා.

    Latest News