කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11 දක්වා ඉහළට

මාර් 15, 2020

    කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයෙකු අද වාර්තා විය.

    45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මොහු මින් පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුණු අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 11 දක්වා වැඩිවී තිබේ.

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් මෙන්ම, වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එහෙත් සෞඛ්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසත් තොග හා සිල්ලර වෙළෙඳසල් විවෘතව තබන ලෙසත් රජය දැනුම් දෙයි.

    කොරෝනා වෛරසය ආසාදිත වූ 11 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි. ඉන් දෙදෙනෙකු කාන්තාවන් වන අතර 09 දෙනෙකු පිරිමි පුද්ගලයන් බව බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු 11 දෙනා අතර විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකු ද සිටින අතර අදාළ නිලධාරිනිය ස්වයං සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීමට අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ආරම්භක පියවරක් ලෙස කොළඹ දී සහ විදේශ රටකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කළ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය කිරීමට ද උපදෙස් දී තිබේ. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජ හරණය කිරීමට පියවර ගෙන තිබේ.

    කොරෝනා වෛරසය ආසාදිතයන් බවට සැක කෙරෙන 133 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වේ. රෝගීන් 18 දෙනෙකුගෙන් 09 දෙනෙකු විදේශිකයන්.
    නිරෝධායනය ආරම්භ කිරීමට පෙර මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස්කර ඔවුන් නිරෝධායනය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලිස් නිශ්කාෂණ වාර්තා, “ඔන් ලයින්“ ක්‍රමයට නිකුත් කරන බවයි. කොළඹ දිසා කාර්යාලයේ නිශ්කාෂණ වාර්තා අයදුම්පත බාරගැනීමේ ඒකකය දෙසතියක් වසා තැබෙනු ඇත.

    පොලිස් මහජන සහන දිනය සහ පොලිස් සහන දිනය අද සිට සති දෙකක කාලයක් අවලංගු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

    ජනතාව වැඩි වශයෙන් රැස්වන රාජ්‍ය හා පෞද්ගලික උත්සව අද සිට සති දෙකක් තහනම් කෙරේ. විවාහ උත්සවවලට සහභාගි කර ගන්නා පිරිස හැකි තරම් අවම කරන ලෙස සෞඛ්‍ය අංශ සහ පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර, නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන සලසා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    චීනයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් පසු විපරම් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකයි. අද වනවිට පසු විපරම් කෙරෙන පුද්ගලයන් සංඛ්‍යාව 4405ක්. ඒ අතර, ශ්‍රී ලාංකිකයන් 2769ක් සහ චීන ජාතිකයන් 1120ක් සිටී.

    ගාල්ල වරායට නැව් සහ සංචාරක යාත්‍රාවලින් පැමිණෙන පිරිස හෙට සිට වරායට ගොඩබැසීම තහනම් කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.

    යාපනය ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් නතර කිරීමට රජය තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එන්.සී. නිමල්සිරි මහතා පවසයි. ඒ අනුව අද සිට සති දෙකක කාලයක් එම ගුවන් කටයුතු නවතාලනු ඇත.

    මේ වනවිට රටවල් 14ක ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර තිබේ. පසුගිය 13 වැනිදා සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට පැමිණෙන සියලුම මගීන් රට තුලට ඇතුල්කර ගැනීම නතර කෙරිණ. ජර්මනිය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය හා ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා අද සිට ගුවන් ගමන් නතර කෙරේ. ඊට අමතරව බ්‍රිතාන්‍ය, බෙල්ජියම හා නෝර්වේ යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට අද සිට රටට ඇතුළුකර ගැනීම නතර කෙරේ.

    කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ඉදිරි සති දෙක තුල දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.
    මේ අතර, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කොරෝනා වැළඳී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවතිමාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි කටකතා පතුරුවන බවයි.

    මේ අතර අද දිනයේ බොහෝ නගරවල ජනතාවගේ ගැවසීම ඉතා අඩු මට්ටමක තිබෙනු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසූහ. ප්‍රධාන ආගමික සිද්ධස්ථානවලට බැතිමතුන්ගේ පැමිණිම අඩුවක් දක්නට ලැබිණ.

    මුළු දිවයිනම ආවරණය වන ලෙස කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද පැවැත්විණ. සංචාරක නිකේතවලට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ගේ දත්ත වාර්තා ලබා ගැනීම, නිරෝදායනයට ලක් නොවී නිවෙස් බලා පැමිනි පුද්ගලයන් සෙවීම මීට ඇතුලත්.

    මෙරට ක්‍රියාත්මක සියලු දුරකතන සමාගම්වල රිගින්ටොන් හරහා කොරෝනා වැළකීමේ උපදෙස් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. මෙම පහසුකම නොමිලයේ ලබාදෙන බව වාර්තාවේ.

    සියළුම ජුම්මා නමැදුම සහ පස්වේල සාමූහික නැවදුම් ඇතුලු සියළුම රැස්වීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එළඹෙන මාර්තු 11 කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිතව තිබූ “රයිගම් ටෙලීස් 2019“ සම්මාන උළෙල එදින නොපැවැත්වීමට තීරණය කර තිබේ. පවතින තත්වය සමනය වූ පසු ආසන්න දිනක එය පවත්වන බව ද කිංඩම් ඔෆ් රයිගම් සමාගම පවසයි.

    මේ අතර අද සිට දෙසතියක කාලයක් ජාතික සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, වනජීවි සංරක්‍ෂණ යන දෙපාර්තමේන්තු යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන, සත්ව උද්‍යාන මහජනතාවට විවෘත නොකරන බව, පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා දැනුම් දෙයි.

    දේශීය හා විදේශීය සංචාරක ආකර්ශනය දිනූ ත්‍රිකුණාමලය උණුවතර ලිං පරිශ්‍රය සහ නිලාවේලි පරෙවි දූපත අද සිට දින 14ක කාලයක් වසා තැබෙන බව ත්‍රිකුණාමලය වැඩබලන වනජීවි සහකාර අධ්‍යක්‍ෂ කීර්ති චන්ද්‍රරතන මහතා පවසයි.

    හෙට පැවැත්වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්‍ෂණ නොපැවැත්වෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි.

    කොරෝනා සම්බන්ධ තොරතුරු දැනගැනීමට හෝ දැනුම්දීමට 117 දුරකතන අංකය රාත්‍රී 8.00න් පසුව විවෘත බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරයි.

    Latest News