දරුවන්ට හරවත් කාටුන් පෙළක් ජාතික රූපවාහිනියෙන්...

මාර් 15, 2020

    දරුවන්ට හොඳම දේ තිළිණ කරන ජාතික රූපවාහිනිය, යළිත් ජාතික වගකීම ඉටු කරමින් හරවත් කාටුන් පෙළක් විකාශය කිරීමට සූදානම් කර තිබේ.

    දශක තුනකට අධික කාලයක් තිස්සේ ප්‍රේක්‍ෂක ආකර්ශනය දිනාගත් කාටුන් මෙලෙස විකාශය කිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හෙට සිට සවස 5.30ට “මතකයේ රැඳුණු සුන්දර කාටූන්“ විකාශය කරයි.

    දොස්තර හොඳ හිත, පිස්සු පූසා, වලස් මාමා, ගලිවරයන්ගේ සුවිසැරිය, හා හා හරි හාවා වැනි කාටූන් නව පරම්පරාවටත් රස විඳීමට අවස්ථාව සලසා තිබේ. ටයිටස් තොටවත්තයන් හඳුන්වා දුන් සැකිළි රූ, හඬ කැවීම් කලාව එදා සිට මේ දක්වා ප්‍රේක්‍ෂකයන්ගේ මහත් ආදරයට පාත්‍ර වූ බව නොරහසක්. මෑත කාලයේ දී වඩාත් ජනප්‍රිය වූ දඟරවලිග ලප වානර හා දොස්තර හොඳ හිත කාටුන් පෙළ හෙට සිට රස විඳිය හැකියි.

    ප්‍රවීන ශිල්පීන්ගේ හඬ දායකත්වයෙන් රසවත් වූ මෙම වැඩසටහන් පාසල් නිවාඩු කාලය සඳහා ජාතික රූපවාහිනිය ඔබ වෙත තිළිණ කරයි. ඇතැම් රූපවාහිනී නාලිකා ළමා මනස විකෘති කරන වැඩසටහන් විකාශය කරන මෙවන් වකවානුවක, ජාතික රූපවාහිනිය තම වගකීම ඉටු කරමින්, ළමා මනස යහපත් දෙයින් පෝෂණය කරන වැඩසටහන් විකාශය කිරීම ද විශේෂත්වයක්.

    සතියේ දිනවල සවස 6.00ට විකාශය කෙරෙන සූරිය දියණි වැඩසටහන බලවත් ප්‍රේක්‍ෂක මත සවස 6.30 සිට 7.30 දක්වා විකාශන බව ද දැනුම් දෙයි.

    Latest News