කොවිඩ් 19; 1,150 ක් පූර්ණ සුවය ලබයි

ජූනි 11, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුනු 1,150 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

    සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය සංඛ්‍යාව 28ක්. කොවිඩ් 19 රෝගය වැළඳුණු 07 දෙනෙකු අද වාර්තා විය. ඔවුන් සියළු දෙනා නාවික හමුදා සාමාජිකයින්. ඉන් සිව් දෙනෙකු අලිමංකඩ, ඉයක්කච්වි මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවයි, වාර්තා වන්නේ. අනෙක් පුද්ගලයා විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක්.

    කොවිඩ් 19 රෝගය වැළඳුනු තවත් දස දෙනෙකු ඊයේ හඳුනා ගැණුනා. ඉන් 08 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්. අලිමංකඩ, ඉයක්කච්වි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 07 දෙනෙකු ද ඒ අතර වේ. තවත් පුද්ගලයෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක්. වාර්තා වූ කොවිඩ් රෝගීන්ගෙන් අයෙකු කටාර්හි සිට පැමිණ තිබේ. ඔහු පැල්ගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තැනැත්තෙක්. ඉන්දියාවේ මුම්බායි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි අයෙකුට ද කොවිඩ් - 19 රෝගය වැළඳී ඇතැයි ඊයේ තහවුරු විය.

    කොවිඩ් 19 රෝගය වැළඳුණු 1,150 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රතිශතයක් ලෙස එය 61.33ක්. කොවිඩ් 19 රෝගීන් 715 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එම ප්‍රතිශතය 38.17ක්. සමස්ත මරණ සංඛ්‍යාව 11ක්. අනුපාතයක් ලෙස එය 0.58%ක් වේ.

    මෙරටින් වාර්තාවන කොවිඩ් 19 රෝගීන්ගෙන් 918 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්. සමස්ත රෝගීන් සමඟ ගත්විය එය 48.93%ක්. විදේශ රටවල සිට පැමිණි 645 දෙනෙකු ද කොවිඩ් 19 රෝගීන් අතර වේ. එම ප්‍රතිශතය 34.38ක්. දේශීයව හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 313ක්. අනුපාතයක් ලෙස එය 16.68%ක්.

    පස්සර, පල්ගහතැන්න මධ්‍යස්ථානයේ සිටි 62 දෙනෙකු අද නිරෝධායනය අවසන් කළේය. ඔවුන් කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

    ආරක්‍ෂක අංශවලට විෂබීජානුහරණ දියර ලීටර පනස් දහසක් ලබාදීම කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණයේ දී අද සිදු කෙරිණ. ඒ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020 20:06

    Latest News