තාරක සහ පොඩි ලැසීගේ මරණ තර්ජනෙ විමර්ශනය ඇරඹේ

ජූලි 21, 2020

    බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී, බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ මරණ තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ඉකුත් ජුනි මස 26 වැනිදා එම බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වුණා.

    ඒ, තමන් සිර මැදිරි වලින් පිටත රදවා සිටින කාලය වැඩි කරන ලෙස ඉල්ලමින්.

    කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙහෙය වූ මෙම ආහාර වර්ජනයට කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු තවත් ප‍්‍රබල ගණයේ රැදවියන් පිරිසක් එක්ව සිටියා.

    වර්ජනය අත්හැරීමට තමන්ට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කළ යුතු බවටයි ඔවුන් ප‍්‍රකාශ කර තිබුණේ.

    කෙසේවෙතත් ඒ වෙනුවට බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු බූස්ස බන්ධනාගාරයට ගොස් තිබුණා.

    එහිදී කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී ඇතුළු කිහිප දෙනෙකු එම නිලධාරීන් තිදෙනාට මෙන්ම බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

    ඒ සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත්තේ.

     

    Latest News