පැයකට අමු තේ දළු කිලෝ 25 ක් නෙලිමට හැකි මෙරටට ආනයනය කරන ලද යන්ත්‍රය

ජූලි 21, 2020

    තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය අවම විම නිසා තේ නිෂ්පාදනයට ගැටළුවක් පැවතිම හේතුවෙන් චීනයෙන් මෙරටට ආනයනය කරන ලද තේ දළු නෙලිමේ යන්ත්‍රය උපරිම ඵලදායිතාවයක් ගෙන එන බව ආගරපතන හොල්බෘක් කෘෂි ව්‍යාපාරයේ කලමණාකාර අධ්‍යක්ෂක මොහාන් පින්නදුවගේ මහතා පැවසිය.

    වතු කම්කරුවෙකු දිනක වැටුපට අමු තේ දළු කිලෝ 18 ක් පැය 8 ක් වැනි කාලයක් තුළ නෙලිය යුතු අතර, ඒ සඳහා වතු පාලන අධිකාරි මගින් රු 750 ක දිනක වැටුපක්ද ඊට අමතරව නෙලන අමතර තේ දළු කිලෝවක් සඳහාම රු 25 සිට 40 දක්වා විවිධ මිල ගණන් යටතේ ගෙවිම් සිදු කරනු ලබයි.

    තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් ඔහුන්ගේ ආර්ථික තත්ත්වය පහල වැටිම නිසා තේ කර්මාන්ත රැකියා වලින් ඔහුන් ඉවත් විම හේතුවෙන් තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කුඩා තේ වතු හිමියන් සහ වතු සමාගම් ගැටළු රැසකට මුහුණු පා සිටිහ.

    තේ දළු නෙලිමට ශ්‍රම දායකත්වය අවම වීම හේතුවෙන් තලවකැලේ තේ පර්යේෂණ ආයතනය මගින්ද නව නිපැයුම් රැසක් හදුන්වා දුන්න ද එම නව නිපැයුම් කෙරෙහි අවධානය යොමු කිරීමට තේ වතු සමාගම් සහ කුඩා තේ වතු හිමියන් කටයුතු නොකිරිමත් සමග තේ කර්මාන්තයේ රැකියා වල නිරත විම සඳහා ශ්‍රම දායකත්වය අඩුවිම තුළ තේ වතු සමාගම් සහ කුඩා තේ වතු හිමියන් දැඩි අසිරුතාවයට පත්වී සිටිහ.

    තේ කර්මාන්තයේ පවත්නා ශ්‍රම දායකත්වය අඩුවිම කෙරෙහි අවධානය යොමු කල තේ වතු සමාගම් සහ කුඩා තේ වතු හිමියන් විදේශිය රටවල නිෂ්පාදිත තේ දළු නෙලිමේ යන්ත්‍ර කෙරෙහි අවධානය යොමු කර චීනයේ නිෂ්පාදිත තේ දළු නෙලිමේ යන්ත්‍ර මෙරටට ආනයනය කර එම යන්ත්‍රයේ ඵලදායිතාවය පිළිබඳව සිදු කර පරික්ෂාවේදී එහි සාර්ථක ප්‍රතිඵල ලැබි ඇති බවයි, මොහාන් පින්නදුවගේ මහතා කියා සිටියේ.

    බැටරියක ආධාරයෙන් ක්‍රියාකරන තේ දළු නෙලිමේ යන්ත්‍රයෙන් පැයකට අමු තේ දළු කිලෝ 25 කට වැඩි ප්‍රමාණයක් වතු කම්කරුවෙකුට නෙලිය හැකි බවත්, එම යන්ත්‍රයේ බැටරියක් පැය හයක් රෝපණය කිරීම මගින් පැය දහයක් අඛණ්ඩව වතු කම්කරුවෙකුට තේ දළු නෙලිය හැකි අතර මෙය පරිසර හිතකාමි ආරක්ෂිත යන්ත්‍රයක් ලෙස ද හදුන්වාදිය හැකි බවත්, මෙම යන්ත්‍රය කිලෝ 1 ½ පමණ බරකින් යුක්ත බව මොහාන් පින්නදුවගේ මහතා වැඩි දුරටත් පැවසිය.

    මෙම යන්ත්‍රය භාවිතා කල වතු කම්කරුවන්ද කියා සිටින්නේ මෙම යන්ත්‍රය භාවිතා කිරිම තුළින් දිනකට විශාල අමු තේ දළු කිලෝ ප්‍රමාණයක් දිනකට නෙලිමට හැකි බවත්,ඒ තුළින් තම අදායම් තත්ත්වය ද ඉහළ යන බවයි.

    තමුන්ව මෙතෙක් කල් වතු කම්කරුවන් වශයෙන් හැදින්වු බවත්, මෙම යන්ත්‍ර භාවිතා කර තේ දළු නෙලිම නිසා මින් ඉදිරියට තමන්ව තේ දළු යන්ත්‍ර ක්‍රියාකරු වශයෙන් හැදින්විමට තේ වතු සමාගම් සහ කුඩා තේ වතු හිමියන් අදහස් කරගෙන සිටින බවද එම යන්ත්‍රය භාවිතා කළ වතු කම්කරුවන් කියා සිටියි.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 17:03

    Latest News