රන්ජන්ට එරෙහි පැමිණිල්ලේ වාචික දේශන අද (24)

අගෝ 24, 2020

    අධිකරණයට අපහස කළා යයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරයකු වූ රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබු පැමිණිල්ලේ වාචික දේශන අද (24) නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණා.

    සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වාචික දේශන ඉදිරිපත් කෙරුණා.

    වගවුත්තර කාර රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වාචික දේශන ඉදිරිපත් කරමින් කියා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය විසින් නිශ්චිත නීතියක් නිර්මාණය කර නොමැති බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කිරීමට බලය ඇත්තේ එම අධිකරණයට හෝ ඒ විනිසුරුවරයෙකුට සිදුකළ සෘජු අපහාසයක් පමණක් බවත් පැවසු ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා, රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නගත ප්‍රකාශය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ එහි විනිසුරුවරයෙකු පිළිබඳව කිසිවක් සඳහන් කර නොමැති බව ප්‍රකාශ කළා.

    මේ නිසා පැමිණිල්ල විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ප්‍රකාශ කළා.

    ඒ අනුව වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා චෝදනා වලින් නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා සිය දේශනය අවසන් කරමින් අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

    අනතුරුව වැඩිදුර විමසීම් හෙට (25) දිනට කල් දැමුණා.

    Latest News