20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ කාර්යාලයෙන් යෝජනා

සැප් 12, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

    එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ යෝජනා අධිකරණ අමාත්‍යාංශයට භාර දී ඇති බවයි.

    පවතින රෙගුලාසි අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමේදී ඝණ පූර්ණය ලෙස සාමාජිකයින් තිදෙනාම සිටිය යුතුය.

    ඒ අනුව එක් අයෙකු හෝ නොමැති අවස්ථාවල ජාතික මැතිවරණ කොමිෂන් සභාවට රැස්වීමට හැකියාවක් නොමැත.

    මේ හේතුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වීම සඳහා අවශ්‍ය ඝන පූර්ණය සාමාජිකයින් දෙදෙනෙකු ලෙස වෙනස් කරන ලෙසට මැතිවරණ මහ ලේකම් කාර්යාලය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කිරීම ද තවත් යෝජනාවකි.

    ඒ අනුව නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හෝ ඊට ඉහළ නිලයක් දැරූ, විශ්‍රාමික නිලධාරියෙකු කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන්නැයි යෝජනා කර තිබේ.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිට වූ ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විතය.

    Latest News