මන්ත්‍රී හරීන්ගේ ප්‍රකාශයට, කාදිනල් හිමිගේ කණගාටුව

සැප් 20, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු කොමිසම හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය කණගාටුව පළ කරයි.

    කොළඹ අගරදගුරු පදවිය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, ඒ පිළිබඳව සමස්ත පූජක සංසදය ද බලවත් කම්පනයටත්, කැළඹීමටත් පත්වූ බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය 16 වැනිදා පාස්කු ප්‍රහාර විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියහ. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ අගරදගුරුතුමා පාස්කු ඛේදවාචකය සිදුවූ ඉරු දින උදෑසන දිව්‍ය පූජවක්, ප්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නොමැති බවත්, උන්වහන්සේ එම දිව්‍ය පූජාව පවත්වා නැත්තේ සිදුවන්නට යන අනතුර පිළිබඳව කලින් දැනුවත් වී සිටි නිසා බවයි. මෙය තමා හුදෙක් හිතලුවක් මත පිහිටා සිදුකළ පදනම් විරහිත ප්‍රකාශයක් බව මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

    අද නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු පදවිය සඳහන් කර ඇත්තේ, මෙය අගරදගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍ය මෙන්ම අසාධාරණ චෝදනාවක් බවත්, ඒ පිළිබඳව බලවත් විරෝධය පළ කරන බවයි.

    අගරදගුරුතුමා එකී දින රාත්‍රී දේව මෙහෙය අප්‍රේල් මස 20 වැනි සෙනසුරාදා සිය ආසන දෙව් මැදුර වන කොළඹ කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදිරේදී සිදු කළ බව ද නිවේදනයේ දැක්වේ.

    මධ්‍යම රාත්‍රිය ඉක්මවා පසුදින අළුයම 2.00 පමණ වනතුරු එම දේව මෙහෙයට අමතරව බෝම්බ ප්‍රහාරය සිදුවූ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින ද උන්වහන්සේ විසින් අගරදගුරු නිවසේදී දිව්‍ය පූජාවක් පැවැත්වූ බවයි.

    කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ සිදුවූ බෝම්බ පිපිරීම පිලිබඳව උන් වහන්සේට තොරතුරු වාර්තා වුණේ පාස්කු ඉරුදින උන්වහන්සේ සිදු කළ දිව්‍ය පූජාව නිමවී සිය කුටිය වෙත පැමිණි පසුව බව නිවේදනයේ දැක්වේ.

    එම සිද්ධිය සැලවූ වහාම උන්වහන්සේ විපතට පත්වූ ජනතාව මුණ ගැසීම සඳහා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර වෙත සිය සහයක රදගුරුතුමන් වන අති උතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් ද කැටුව ගිය බව නිවේදනයේ සඳහන්.

    එබැවින් තමන් සාධාරණීකරණය කර ගැනීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කාදිනල් හිමිපාණන් ඊට සම්බන්ධ කර ගනිමින් කර ඇති පහත් මනක්කල්පිත ප්‍රකාශය අසත්‍යයක් බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ඔවුන් දැඩි ලෙස අවධාරණය කරන්නේ, කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කිසි ලෙසකත් පෙර දැනුවත් වී නොසිටි බවයි.

    එමෙන්ම, ජිවිත අහිමි වූ සහ සදහටම ආබාධිත වූ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා වත්මන් ජනාධිපති කොමිසම කැපවී ක්‍රියා කරමින් සිටින බවට විශ්වාස කරන බව ද කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මෙම දරුණු අපරාධය සිදු කළ කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහිවත්, ඔවුන්ට එසේ ක්‍රියාත්මක වීමට සිය වගකීම් බරපතල ලෙස පැහැර හරිමින්, මඟ සැලසූ සිද්ධිය සිදුවන අවස්ථාවේ බලයේ සිටි දේශපාලන නායකයන්ට ද, රාජ්‍ය පරිපාලන සේවයේ සහ බුද්ධි අංශවල සේවය කළ නිලධාරින්ට විරුද්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් ක්‍රියා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News