ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරි කටයුතු විධිමත් කෙරේ

සැප් 23, 2020

    ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරි කටයුතු විධිමත් කිරීමට රජය තීරණය කර තිබේ.

    ජනතාවට වඩාත් කාර්යක්‍ෂම හා කඩිනම් සේවාවක් ලබාදීම මෙහි අරමුණයි. රාජ්‍ය සේවය වඩාත් ඵලදායී ලෙස ජනතාවට ලබාදීම සඳහා සඳුදා දිනය මහජන දිනය ලෙස රජය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. කලින් එම දිනය යෙදී තිබුණේ බදාදායි.

    ඊට සමගාමීව අභ්‍යන්තර ආරක්‍ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ග්‍රාම නිලධාරීන්ගේ කටයුතු විධිමත් කර තිබේ.

    ඒ අනුව, විවේක දින හැර දින 6ක් පැය 24 පුරා තම කොට්ඨාසයේ සේවයේ යෙදීමට ග්‍රාම නිලධාරීන් බැඳී සිටී. අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, සෙනසුරාදා මධ්‍යහ්න 12.30 දක්වාත් සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය.

    සඳුදා දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර, අනෙක් දින තුනෙන් එකක් විවේක දිනය ලෙස ද ඉතිරි දින දෙක ක්‍ෂේත්‍ර රාජකාරී සඳහා යොදාගත යුතු බව චක්‍රලේඛයේ දැක්වේ. මෙම විධිවිධාන ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි.

    Latest News