පොල්තෙල් සමඟ පාම්තෙල් කවලම් කිරීම තහනම්

ඔක් 01, 2020

    පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත.

    දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමග 29 වැනි දින කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදී ඇත.

    2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදීන්ගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බව ද මෙහිදී අනාවරණය විය.

    දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් මෙහිදී පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩුකිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණ බවයි.

    මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදුකරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමග තරග කළ නොහැකි බවද ඔවුහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්‍රශ්නය කැබිනට් පත්‍රිකාවක් මගින් නිවැරදි කරන බවයි.

    Latest News