පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි අද සවස 6.00න් පසු නැවත විවෘත කළා; යුද හමුදාපති

ඔක් 12, 2020

    හුදෙකලා ගම්මාන ලෙස ඊයේ නම් කළ, මන්නාරම, පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන, අද සවස 6.00න් පසු නැවත විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන මෙලෙස ඊයේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණේ එම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගීන්ගේ ආශ්‍රිතයන්, මෙම ගම්මාන දෙකෙහි සිටීම හේතුවෙන්. උතුර පළාත තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙනුයි මෙය සිදු කෙරුණේ, ඒ අනුව, අද සවස 6.00න් පසු මෙම ගම්මාන විවෘත කෙරිණ.

    මෙතෙක් මෙරට තුළ සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 31,972ක්.

    කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බියගම ප්‍රදේශයේ රෝගීන්ගේ ආශ්‍රිතයන් පී සී ආර් පරීක්‍ෂණවලට යොමු කෙරිණ. ඊට පවුල් 60ක පමණ පුද්ගලයින් අයත්.

    පින්නවල බ්‍රැන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ, නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ගෙන් 13 දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පත්මකුමාර වික්‍රමසිංහ මහතා පවසයි. ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කෙරිණ.

    ශ්‍රී පාද ජාතික විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කෙරිණ. එහි 250කට පමණ නිරෝධායන පහසුකම් සලසා ඇති බව යුද හමුදාව පවසයි.

    කෑගල්ල මහ රෝහල ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් 19 රෝගීන්ගේ ආශ්‍රිතයන් අද පී.සී.ආර්. පරීක්‍ෂණවලට යොමු කෙරිණ. ඊට 147 දෙනෙකු අයත්.

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුට, කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අදාළ සාමාජිකයා සමඟ සමීපව රාජකාරි කළ සේවකයන් 50 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරිණ. ආයතනය තුළ වෛරසය පැතිරිම වැලැක්වීම සඳහා රජයේ කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශනයට අනුව, සිය ශ්‍රම බලකාය ආරක්‍ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    බන්ධනාගාර තුළට කොවිඩ් 19 වෛරසය ඇතුළුවීම වැළැක්වීමත්, බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහාත් අවශ්‍ය පියවර ගෙන තිබේ. ඒ අනුව, අහඹු ලෙස පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටත්, ඉදිරියේදී ඇති වන ඕනෑම තත්වයකට මුහුණදීම සඳහා කටයුතු සූදානම් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර පාලනාධිකාරියට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ඉදිරියේදී බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ අහඹු පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි.

    ගම්පහ පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් පවතින අතර, නිරෝධායන ඇඳිරිනීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News