ගංගා 103ක් සංවර්ධනයට රුපියල් කෝටි 2300ක්

ඔක් 17, 2020

    අප රටේ මහජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලාශ්‍රයන් වන ගංගා පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ ව්‍යාපෘතියක් සකස් කර ඇතැයි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ”සුරකිමු ගංගා ” තේමාව යටතේ ක්‍රියාත්මක කර තිබෙන මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ගංගා 103ක් සංවර්ධනය කෙරෙන අතර ඒ සඳහා රජය වැය කිරීමට යෝජිත මුදල රුපියල් කෝටි 2300ක් බව ඇමැතිවරයා සඳහන් කරයි.

    දැනට අප රටේ සමස්ත ගංගා පද්ධතියම මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා දූෂණයට ලක්වී තිබෙන අතර, ඇතැම් ගංගාධාර ආශ්‍රිතව පවතින පරිසර පද්ධති විනාශ කිරීම නිසා ගංගා වලට ජලය සැපයෙන ජලමුලාශ්‍ර පවා අහිමිව යමින් පවතී.

    එමෙන්ම මහජනතාවට පානීය ජල අවශ්‍යතා සඳහා යොදා ගන්නා ජලයට අපද්‍රව්‍ය එක්වීම මගින් විවිධ රෝගාබාධ වලට මිනිසුන් ගොදුරුවීමත්, ගංගා ආශ්‍රිතව ඇති කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අප ජලය ගංගා වලට බැහැර කිරීම නිසාත් අපේ ගංගා පද්ධතිය මේ වනවිට අතිශයින් දූෂණයට ලක්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    විශේෂයෙන් කැළණි ගග ආශ්‍රිතව කඩුවෙල සිට පෑලියගොඩ පාළම දක්වා කර්මාන්ත ශාලා 7000ක් තිබෙන අතර, ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණි.

    ඉතිරි 4000ම පරිසර වාර්තා ලබා ගෙන නොමැති අතර, පරිසරය සම්බන්ධ ඇතැම් නිලධාරින් විසින් තම රාජකාරි ඉටු නොකිරීම මෙන්ම විවිධ දූෂණයන් සිදු කිරීම නිසා අපගේ ගංගා පද්ධතිය විනාශ වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ගංගා අවට අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීම, ඔවුන්ට විකල්ප ඉඩම් මෙන්ම ඒවායේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම, කර්මාන්ත වල අපජලය බැහැර කිරිමේ විද්‍යාත්මක ක්‍රමයන් අනුගමනය කිරීම සඳහා මුදල් නොමැතිනම් ඊට අඩු පොලියක් යටතේ ණය මුදලක් ලබාදීම වැනි සහන ලබාදීමට පියවර ගැනීමට ද නියමිතයි.

    එමනිසා තමන් විසින් අතිගරු ජනාධිපතිතුමන්ට කළ පැහැදිළි කිරීම් නිසා මෙම වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස එතුමන් උපදෙස් දුන් බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

    Latest News