මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් PCR උපකරණ හා පරීක්ෂණ කට්ටල පරිත්‍යාගක්

පෙබ 12, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි සියලුම රටවැසියන්ට එන්නත් ලබාදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ COVID - 19 රෝගයෙන් තොර පළමු රට බවට පත්කිරීමට රජය කටයුතු කරනවා - ගරු බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    මේ අතර, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගම, ශ්‍රී ලංකා රජයට PCR යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 5,000 ක් ප්‍රදානය කිරීමට ඊයේ දින කටයුතු කළේය.

    මෙම පරිත්‍යාගයේ මුළු වටිනාකම රු. මිලියන 20 ඉක්මවයි.

    සී.එච්.ඊ.සී පෝර්ට්සිටි කොළඹ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා වෙනුවෙන් එම සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ YueYeqing මහතා විසින් අදාළ උපකරණ හා පරීක්ෂණ කට්ටල තොගය, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගරු බැසිල් රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදි.

    මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, දහම් පාසල්,පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යපෘතියේ විධායක ව්‍යපෘති කළමනාකරණ අධ්‍යක්ෂ රාජා එදිරිසූරිය, එහි අධ්‍යක්ෂිකා (විකුණුම් හා අලෙවි) යමුනා ජයරත්න සහ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් යන මහත්ම මහත්මීහු එක්වූහ.

    මෙම කාලෝචිත පරිත්‍යාගය අගය කළ බැසිල් රාජපක්ෂ මහතා, අදාළ PCR යන්ත්‍රය සහ පරීක්ෂණ කට්ටල වහාම භාවිතයට ගැනීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන්නේය. එම PCR යන්ත්‍රය මුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන බවත්, එමගින් එම දිස්ත්‍රික්කයේ දෛනිකව සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ හැකිවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි සියලුම රටවැසියන්ට එන්නත ලබාදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ COVID - 19 රෝගය තුරන් කළ පළමු රට බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසී ය.

    මෙම අවස්ථාවේදී පෝර්ට් සිටි නියෝජිතයෝ එම ව්‍යාපෘතියේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් කළහ. එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ඉදිරියේදී විශේෂ ආර්ථික කලාප පනත හඳුන්වා දීමත් සමග මෙය දකුණු ආසියානු කලාපයේ නවීන සේවා හා මූල්‍ය කේන්ද්‍රයක් බවට පත්වනු ඇති බවයි. එමෙන්ම මෙම වසරේදී කොළඹ වරාය නගරය සංවර්ධන කටයුතු ඔස්සේ රටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

    පසුගිය මාස කිහිපය තුළ අවස්ථා කිහිපයකදී මෙරට බලධාරීන් වෙත ආරක්ෂක උපාංග පරිත්‍යාග කිරීමට පෝර්ට් සිටි කටයුතු කළේය. මේ අතරට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මුඛ ආවරණ 10,000 ක් පරිත්‍යාග කිරීම, ශ්‍රී ලංකා රේගුවටමුඛ ආවරණ 2,000 ක් පරිත්‍යාග කිරීම සහ කොළඹ මැනිං තොග වෙළඳපොළ, ශ්‍රී ලංකා පොලීසිය, කළුතර නාගොඩ රෝහල, තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රු. මිලියන 6 කට අධික වටිනාකමකින් යුත් පරිත්‍යාගයන් සිදුකිරීම ඇතුළත් වේ.

    එමෙන්ම 2020 නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ COVID - 19 රෝග මර්දන උත්සාහයන්ට ලබාදෙන තවත් සහයෝගයක් වශයෙන්, ශල්‍ය මුඛ ආවරණ 20,000 ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්විය වෙත භාරදීමට ද කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගම පියවර ගත්තේ ය.

    මෙම පරිත්‍යාග අගය කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය, රටට දැඩි ලෙස අවශ්‍යවී ඇති PCR උපකරණ හා පරීක්ෂණ කට්ටල ද ලබාදෙන ලෙස ඉල්ලීමක් කළාය. මෙම ඉල්ලීම ඉටුකරන බවට ප්‍රතිඥා දුන් පෝර්ට් සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා, මාස කිහිපයක් තුළඑම ප්‍රතිඥාව ඉටු කරමින්, 2021 පෙබරවාරි මාසය වන විට මෙලෙස PCR උපකරණ හා පරීක්ෂණ කට්ටල එකතුවක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.

    දිනපතා වැඩි වැඩියෙන් COVID - 19 ආසාදිතයන් වාර්තා වන පසුබිමක් තුළ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතුව තිබේ. එබැවින් ඉදිරියටත් ශ්‍රී ලංකා රජයට මෙවැනි කාලෝචිත පරිත්‍යාගයන් සිදුකිරීමට කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යපෘති සමාගම අපේක්ෂා කරන අතර, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීම්සහගත ලෙස කටයුතු කරන ලෙසත්, යහපත් සනීපාරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙසත්, නිතර අවධානයෙන් පසුවන ලෙසත් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටී.

     

    කොළඹ වරාය නගර පිළිබඳව

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලූතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලූත්ම භූමි ප‍්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධ කෙරේ.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත‍්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිතයි.

    ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලූ යාත‍්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතයි.

    නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇති.

    Latest News