‘පාසල් වල තූර්යවාදන සංදර්ශන තාවකාලිකව අත්හිටුවන්න’ … අධ්‍යාපන ලේකම්

පෙබ 17, 2021

    පවතින සෞඛ්‍ය අවදානමට වගකීම් සහගතව මුහුණදෙමින් බස්නාහිර හැර සෙසු පළාත්වල පාසල් මේ වනවිට ආරම්භ කර ඇති නමුත්, දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට අදාළ වන විෂය සමගාමී සහ විෂය බාහිර කටයුතු හැර තූර්ය වාදන සංදර්ශන, පෙළපාලි ආදිය පාසල් තුළ පැවැත්වීම අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පලාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

    දැනට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පැමිණීම 70% ඉක්මවා වාර්තා වූ බව ද අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන් අතර, දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන විෂය සම්මන්ත්‍රණ, සාකච්ඡා, සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආදිය පැවැත්වීමට කිසිදු තහනමක් නොවන බව ද අවධාරණය කළේය.

    පාසල් දරුවන් යොදා ගනිමින් සංදර්ශන හා පෙළපාළි පවත්වන බවට පාසල් කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගත් බව ද ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Latest News