අග්‍රාමාත්‍යතුමා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී (වීඩියෝ)

පෙබ 19, 2021
  • මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

    ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍යතුමා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අග්‍රාමාත්‍යතුමා ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය.

    දළදා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අගමැතිතුමා මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    එහිදී අග්‍රාමාත්‍යතුමා මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නාහිමි බැහැදක උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේය.

    ඉන් අනතුරුව අස්ගිරි මහ විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවට අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියෝ ද වැඩ සිටියහ.

    අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගිය අග්‍රාමාත්‍යතුමා අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවට අස්ගිරි සංඝ සභාවේ කාරක සංඝ සභික රංගිරි දඹුලු රජමහ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියෝ ද වැඩ සිටියහ.

    මේ අතර අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත ගිය අග්‍රාමාත්‍යතුමා මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ පරිවෙනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගිය අග්‍රාමාත්‍යතුමා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    අගමැතිතුමාගේ මෙම අගමික වතාවත්වලට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 19 පෙබරවාරි 2021 23:08

    Latest News