ව්‍යාපාර ආරම්භ කිරීමේ සිට නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීම දක්වා පහසුකම් සැලසෙන ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් බදුල්ලටත්

පෙබ 20, 2021

    ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසෙන ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන ජාලයේ ශාඛාවක් බදුල්ලේ ස්ථාපනය කිරීමට සැලසුම් කෙරේ.

    මේ යටතේ දිස්ත්‍රික්කයේ ජනතාවට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සිට ණය පහසුකම් ලබා ගැනීම, පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහය ඇතුළු සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව සැලසේ.

    මෙම ශාඛා ජාලයේ පළමුවැන්න මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මීට පෙර ආරම්භ කෙරිණි.

    යුරෝපා සංගමයට අනුබද්ධ ක්‍රිසලීස් ආයතනයේ අනුග්‍රහය මත යෝජිත බදුල්ල ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීම පිළිබඳ මූලික වැඩමුළුවක් පසුගිය දා පැවැත්විණි.

    ඒ ෂෙහාන් සේමසිංහ සහ තේනුක විදානගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    මෙහි දී අදහස් දැක් වූ ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ව්‍යවසායකයන් බවට පත් වීමට අපේක්ෂා කරන තරුණ තරුණියන් දිරිමත් කිරීම සඳහා මෙමගින් මහගු පිටුබලයක් සැලසෙන බවයි.

    ආයතන කිහිපයකින් ඉටුවන සේවාවන් මෙහි දී එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර මාර්ග ගත (Online) ක්‍රමවේදය ඔස්සේ ද මෙමගින් සේවාවන් ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බව ද හෙතෙම පැවැසීය.

    සාමාන්‍ය ක්‍රමය ඔස්සේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා සති හතරක පමණ කාලයක් ගත වුව ද මෙම මාර්ග ගත ක්‍රමවේදය මගින් දින දෙකක පමණ කාලයකින් නිවසේ සිටම එම කටයුතු සිදු කිරීමේ හැකියාව ලැබී තිබේ.

    බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, ඌව පලාත් ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න, ක්‍රිසලීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක පද්මසිරි ගුණවර්ධන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තමරා බර්නාඩ්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි, අතිරේක ලේකම් සී.ඩී කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News