ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

පෙබ 20, 2021

    දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් නිලධාරීන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉදිකල අධ්‍යයන මධ්‍යස්ථානයක්, ශිෂ්‍ය නිලධාරීන් 100 දෙනෙකුට අසුන්ගත හැකි නවීන පන්ති කාමර තුනක් (Smart Classrooms) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පරිහරණය සඳහා ‘ග්‍රින් විවු’ (Green View) නමින් නිවාස සංකීර්ණයක් පසුගිය බදාදා (17) දින විවෘත කරන ලදී.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කෙරෙන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020- 2025’ ට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවිණ.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිරත්න ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ සහභාගි විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම පුහුණු පාසලේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වස් මෙම සංවර්ධන කටයුතු සිදුකරන ලදී.

    වසර 117 කට අධික ඉතිහාසයක් ඇති දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල ජාතිහිතෛෂී හා වෘත්තිය නිලධාරීන් රටට දායාද කරන ප්‍රමුඛතම පුහුණු පාසැලකි. මේ වන විට එහි පුහුණු අවස්ථා තවදුරටත් වර්ධනය කරමින් නවීන පහසුකම්වලින් සමන්විතව පුහුණු පාසැලක් බවට පත් කර ඇත.

    මෙම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේචඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනුතරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

    උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නිලධාරීන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉදිකල අධ්‍යයන මධ්‍යස්ථානය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පරිහරණය සඳහා කාමර 10 කින් සමන්විත ‘ග්‍රින් විවු’ (Green View) නිවාස සංකීර්ණය මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ විසින් විවෘත කරන ලදී. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කළේය.

    ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ භටපිරිස් ඇමතමින් පුහුණු පාසලේ කාර්යභාර්යත් එහි පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ දැක්මට අනුව දියත් කෙරෙන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් 2020- 2025’ ට අනුව කටයුතු කරන ලෙසද පැවසීය.

    මෙම උත්සවය අවසානයේ පුහුණු පාසලේ සේනාවිධායකතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තාට සමරු තිළිණයක් ප්‍රදානය කළේය. පුහුණු පාසල් පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම ප්‍රධාන අමුත්තා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය. දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News