ස්විස්ටර්ලන්ත තානාපති යාපනයේ සංචාරයක

පෙබ 20, 2021

    ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler) පසුගිය බ්‍රහස්පතින්දා (18) දින යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක් අතරතුරදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

    මෙම හමුවේදී, යාපනය අර්ධද්වීපයේ සිවිල් හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ කරුණු පිළිබඳවත්, යුද්ධ හමුදාවට නිලධාරින් හා සෙසුනිලයින් වශයෙන් දමිළ තරුණ තරුණියන් බඳවාගැනීමත්, සංස්කෘතික බැඳීම් සංවර්ධනය, දුප්පත් ජනතාව හා පාසල් සිසු දරු දැරියන්ගේ සුභසාධන කටයුතු සොයාබැලීමත්, නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති පිළිබඳවත් අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

    ස්විස්ටර්ලන්ත තානාපති හා දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් සිඩෝනියා ගේබ්‍රියෙල් (Sidonia Gabrial) හා අනෙකුත් නියෝජිත නිලධාරින් විසින් සිවිල් හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතින් හා අනෙකුත් කටයුතු පිළිබඳ තම ස්තූතිය හා සතුට පළකළ අතර එවැනි කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළහ.

    මෙම සාකච්ඡාවට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි හා මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම් හා පුහුණු) සහභාගී වූහ.

    Latest News