බස් සහ ටිපර් රථ රියදුරුන් ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

මාර් 21, 2021

    බදුල්ල, පස්සරදී අනතුරට ලක්වූ බස් රථයේ රියැදුරා සහ බස් රථය ගමන් කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඊයේ උදේ අනතුරට ලක් වූයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී. එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයට පෙරළී තිබිණ.

    එහි සිටි මගීන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගැනුණ ද, 14 දෙනෙකු මරණයට පත්වූහ. තුවාල ලැබූ තිස් දෙදෙනෙකු මේ වනවිට බදුල්ල මහ රෝහලේ සහ පස්සර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    මියගිය පුද්ගලයන්ගේ පීසීආර් පරීක්‍ෂණ සහ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ ඊයේ සිදු කෙරිණ. ඔවුන් කිසිවෙකුටත් කොවිඩ් 19 රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇත. පශ්චාද් මරණ පරීක්‍ෂණ සිදුකර මෘතදේහ ඊයේ රාත්‍රී ඥාතීන්ට බාරදී තිබේ. මියගිය සියලු දෙනාම ලුණුගල ප්‍රදේශය අවට ජීවත් වූ පුද්ගලයින් බව වාර්තාවේ.

    බස් රථය පැදවු රියැදුරා සහ එම රථයට ප්‍රතිවරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියැදුරා අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ. බස් රථයේ රියදුරා ද බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    එම මාර්ගයේ ඉදිකිරීම් සිදු කළ සමාගම අනතුර සිදුවූ ස්ථානයේ අඩි 100ක පමණ තාවකාලික ආරක්‍ෂිත වැටක් ඉදිකර තිබේ. මාර්ග සංඥා සවි කිරීමට ද පියවර ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි. මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක උපුල් හේරත් මහා ඇතුළු පිරිසක් අද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණියේය.

    ප්‍රපාතයට පෙරළුණු බස් රථය යළි ගොඩට ගැනීමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කෙරිණ. එහෙත් ඇතිවූ වර්ෂාව හේතුවෙන් එම කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබේ.

    Last modified on ඉරිදා, 21 මාර්තු 2021 19:38

    Latest News