අසාද් සාලිට එරෙහි නඩුව 11 වැනිදා යළි විභාගයට...

නොවැ 09, 2021

    ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනිණ.  

    ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ.  එහිදී පැමිණිලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින පොදු ජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයනන්ද, හිරු රූපවාහිනී නාලිකාවේ නිශ්පාදන අංශයේ කළමණාකරු වූ බන්ඩාරගමගේ ලක්ෂිත, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරාල යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.  

    අනතුරුව වැඩිදුර විභාගය මේ මස 11 වනදා තෙක් කල් තැබිණ.  ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් "අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ "හදිසියයි" හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ" යනුවෙන්  ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබේ.  

    මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.  

    බස්නාහිර පළාතේ  ආණ්ඩුකාරවරයා වශයෙන් ද කටයුතු කළ අසාත් සාලි මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටියි.  අසාත් සාලි මහතා හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද අනාවරණය වී තිබේ.

    Latest News