වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව කල්යයි

ජන 06, 2022

    වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

    එම තීන්දුව අද දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සා මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.

    එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේ මෙම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශ කිරීම ලබන 12 වැනිදා දක්වා කල් තබන බවයි.

    2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

    එම මෙහෙයුම අතරවාරේ බන්ධනාගාරය තුළ තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වූ අතර එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක තුනක් බන්ධනාගාරය තුළට යොමු කෙරුණු බව ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

    එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ මෙම නඩුවේ චුදිතයන් විසින් තෝරා ගත් රැඳවියන් අට දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජන රාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News