නව අග්‍රාමාත්‍ය ලේකම් සිය ධුරයේ රාජකාරි අරඹයි...

ජන 20, 2022

    නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතා කොළඹ ‍7, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ, අංක 58 දරන ස්ථානයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (20) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී සංකේතාත්මකව සිය පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් අනතුරුව හෙතෙම මෙසේ සිය රාජකාරි කටයුතු ඇරඹී ය.  මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්.අනුර දිසානායක මහතාට ආශීර්වාද එක් කළහ.  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩී.එම්. අනුර දිසානායක මහතා මෙයට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදනය, මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කි්හිපයක ම ලේකම් ධුරය හෙබවීය.

    PMSec02 900px 22 02 20

    ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති අනුර දිසානයක මහතා රාජ්‍ය පරිපාලනයේ අත්දැකීම බහුල නිලධාරියෙකි.  කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නාහිමි, කොළඹ ශ්‍රී හත්බෝධි විහාරාධිපති, පූජ්‍ය ගලගම දම්මරංසි හිමි, පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මොරටුව එගොඩ උයන ශ්‍රී බෝධිරාජාරාමාධිකාරී, ශාස්ත‍්‍රපති පූජ්‍ය එගොඩඋයන ඤාණවිමල හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ.    

    අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරු වන හර්ෂ විජේවර්ධන, නීතිඥ චමින්ද කුලරත්න, ඇන්ටන් පෙරේරා, නිශාන්ත වීරසිංහ යන මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News