යුවාන් වැං - 5 චීන නිරීක්ෂණ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සඳහා අවසර...

අගෝ 13, 2022

    යුවාන් වැං - 5 චීන නිරීක්ෂණ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සඳහා ශ්‍රී ලංකා රජයේ අවසරය යළි හිමිව තිබෙනවා.

    ඒ අනුව මේ මස 16 දින සිට 22 වැනිදා දක්වා එම නෞකාවට හම්බන්තොට වරායේ නවතා තැබීමට අවශ්‍ය අවසරය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හාබර් මාස්ටර්වරයා වෙත නිකුත් කර තිබෙනවා. අදාළ කරුණ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යුවාන් වැං - 5 නෞකාවේ චාරිකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පුළුල් අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව තිබුණා.

    එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපයට අවතීර්ණ වී ඇති බවයි, නාවික නිරීක්ෂණ වෙබ් අඩිවි පෙන්වා දෙන්නේ. නෞකාව ඉකුත් බ්‍රහස්පතින්දා එනම් 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් මතුවී තිබූ රාජ්‍ය තාන්ත්‍රිකමය අවධානයන් නිසා එම චාරිකාව පමා කරන ලෙසට ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. 

    මේ අතර චීන නෞකාවේ ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලකළ බවට  එල්ලවන දෝෂාරෝපන ප්‍රතික්ෂේපකරන බවයි, ඉන්දීය රජය ඊයේ ප්‍රකාශ කළේ. ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දාම් බග්චි සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී කියා සිටියේ, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් වන අතර ඊට අදාළ තීන්දු තීරණ ගැනීමට එරටට කිසිදු බාධාවක් නැති බවයි. මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ, නෞකාව පිළිබඳ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිරාකරණය කර ගැනීමට රජය පියවර ගන්නා බවයි.

    Latest News