රංගන ශීල්පී රයන් වැන්රොයන් ඇතුළු පස් දෙනාගෙන් ප්‍රශ්න කෙරේ

අප්‍රේ 04, 2019

    ඩුබායි රාජ්‍ය යෙන් පිටුවහල් කර අද අලුයම ශ්‍රී ලංකාවට පැමිනි රංගන ශිල්පී රයන් වැන්රොයන් ඇතුළු පස් දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බව, පොලිසිය පවසයි.

    ඩුබායි සිට පැමිණි “යූ.එල්-226“ දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ළඟාවුයේ අද අලුයම 5.25ට පමණ. ඉකුත් පෙබරවාරි මාසයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ඩුබායිහි සංවිධාන කළ සාදයකට සහභාගිවීම සඳහා ඔවුන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබිණි.

    එරට පොලිසිය සිදු කළ වැටලීමකදී 31 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් මාසයකට වැඩි කාලයක් එරට පොලිස් බාරයේ පසු වූහ. අද දිනයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ ඒ අතරින් පස් දෙනෙක්. රංගන ශිල්පී රයන් සමඟ කොළොන්නාව, සීදූව, අළුබෝමුල්ල සහ කඹුරුපිටිය ප්‍රදේශවල පදිංචි තවත් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගැනිණ.

    කොළඹ අපරාධ කොට්ඨාසය ද එම පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා එක්ව සිටී. මීට අමතරව, රයන් වැන්රෝයන් මහතාගෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය ද ප්‍රශ්න කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    Latest News