ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන්ට සූදානම්;අගමැති

අප්‍රේ 21, 2019

    දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක, සිදු කළ ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ, සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව, අදපෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “ස්ථාන කියහිපයක අද උදේ ඇතිවූ පිපිරීම් නිසා ජිවිත හානි වූ සියලු දෙනාට හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමත්, තුවාල වූ සියලු දෙනාටමත් රජය වෙනුවෙන් මම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. මේ සිදුවීම රටේත්, රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.

    විශේෂයෙන් ආගමික සිද්ධස්ථාන හා ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාරය මා තරයේ හෙළා දකිනවා. නීතිය ආරක්ෂා කිරීමට අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මා ආරක්‍ෂක ලේකම් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබාදී තිබෙනවා. මමත් ඒවගේම අනෙකුත් ඇමතිවරුනුත් ජනාධිපතිතුමා සමඟ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ජා කළා.

    මෙම සාකච්ජාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ද සහභාගි වුණා. දැනට ඒ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුවත්, ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව, සඳහන් කරන්න කැමතියි. ඒ සඳහා අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට අපි ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ අපි සැමෝම මේ ජාතික අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර, සාමය ආරක්‍ෂා කරමු“. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Latest News